අපිට නැතිවෙන්න දෙයක් නෑ. නමුත් එංගලන්තයට නැතිවෙන්න දෙයක් තියනවා. කුසල් ජනිත් පෙරේරා.

ශ්‍රී ලංකා – එංගලන්තය අතර විස්සයි විස්ස තරඟාවලිය අද (23) ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා මාධ්‍ය සාකච්ඡාවකට එක්ව තිබුණා.

එහිදී කුසල් ජනිත් පෙරේරා විසින් ප්‍රකාශ කර සිටියේ ඔහුන් හොඳට පුහුණුවීම් කර, තරඟාවලියට හොඳ සූදානමකින් සිටින බවයි.

“බංගලාදේශයේ සෙල්ලම් කරලා අපි එංගලන්තයට ආවා. බංගලාදේශයේ වගේ නෙමේ මෙහෙ ටිකක් සීතලයි. ඉතින් අපි දවස් ගානකට කලින් ආපු නිසා ඒකට හුරුවෙලා තියනවා. ප්‍රැක්ටිස් මැච් සෙල්ලම් කල නිසාත් අපි හොඳ සූදානමකින් ඉන්නවා.” – KJP

අද තරඟය ක්‍රීඩා කරන කණ්ඩායම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියා ඇසූ ප්‍රශ්නයකට කුසල් පෙරේරා විසින් ප්‍රකාශ කර සිටියේ තවම ක්‍රීඩාකරන 11 දෙනා තීරණය කර නොමැති බවයි.

“අපි පිතිකරුවන් 6ක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 2ක් හා පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක තමයි අපි මැච් එක සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නේ. තවම සෙල්ලම් කරන 11 දෙනා කවුද කියලා තීරණය කරලා නැහැ.”

“අපි කොහොමත් බය නැතුව සෙල්ලම් කරන්න ඕනේ. මම එදා පලවෙනි දවසේ කිව්වා කියලා එකපාරටම ඒක වෙනසක් කරන්න බෑ. දවසෙන් දවස බය නැතුව සෙල්ලම් කරන්න ගත්තොත් ඉස්සරහට අපිට හොඳ රිසාල්ට් දකින්න පුලුවන් වෙනවා. අපේ ගොඩක් වෙලාවට වෙන්නේ ප්‍රැක්ටිස් මැච් වල ගොඩාක් හොඳට සෙල්ලම් කරනවා. හැබැයි මැච් එකට ගියාම ඒ විදියට සෙල්ලම් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ප්‍රැක්ටිස් මැච් වල ගහන විදියටම, මැච් එකට ගියාමත් ගහන්න පුහුණුකරුවන් එක්කත් කතා කරලා ප්ලෑන් කරලා තියෙන්නේ.” – KJP

කොවිඩ් හේතුවෙන් පසුගිය කාලය පුරාවටම ප්‍රේක්ෂකයන්ගෙන් තොරව තරඟ ක්‍රීඩා කළ අතර මෙම තරඟාවලියේදී එංගලන්ත ප්‍රේක්ෂකයන් හට ක්‍රීඩාංගනයට පැමිණ තරඟ නැරඹීමට අවස්ථාව ලැබී තිබෙන අතර එමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම කුසල් ජනිත් පෙරේරා විසින් පැහැදිලි කර සිටියා.

“ෆෑන්ස්ලා එක්ක සෙල්ලම් කරන කොට ඒ කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා. මොකද ඒගොල්ලොන්ගේ දක්ශතා ෆෑන්ස්ලා දකින කොට ඒක ඒ වෙලාවට ලොකු ශක්තියක්. එංගලන්තයට ඒ දේ ලැබිලා තියනවා. නමුත් අපි ඒකෙන් අනවශ්‍ය පීඩනයක් ගන්න හොඳ නැහැ.”

“අපි දැන් ඉන්න විදියට අපිට තව නැතිවෙන්න දෙයක් නෑ. නමුත් එංගලන්තයට නැතිවෙන්න දෙයක් තියනවා. ඒ පීඩනය ඒගොල්ලොන්ට තියනවා. ඉතින් මට ලොකු විශ්වාසයක් තියනවා මේ තරඟාවලියේ අපිට වෙනසක් කරන්න පුලුවන් කියලා.”

“එංගලන්ත කණ්ඩායමේ ගොඩාක් හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. ඒගොල්ලන්ගේ පිතිකරුවන් සියල්ලම හොඳයි. නමුත් ඒගොල්ලොන්ගේ බෝලින් ගත්තාම පොඩි අඩුපාඩුවක් තියනවා කියලා මට පේනවා. නමුත් ඒකෙන් කියවෙන්නෑ ඒගොල්ලෝ හොඳ නැති කට්ටිය කියලා. ඒගොල්ලෝ ප්‍රාන්ත තරඟ සෙල්ලම් කරලා දක්ශතා අතරට ඇවිල්ලා ඉන්නේ. නමුත් එංගලන්තේ අනෙක් හොඳ බෝලර්ස්ලා එක්ක බලන කොට මේ සංචිතයේ ඉන්න අයගේ අඩුපාඩුවක් දකින්න පුලුවන්. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”

සම්පූර්ණ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාරය සහ, තරඟ කාල සටහන මෙතනින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *