අපිට ලකුණු 300 සීමාව පසුකර යන්න පුලුවන් හොඳ කණ්ඩායමක් තියනවා – චාමික කරුණාරත්න
ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරඟාවලිය ආරම්භ වෙමින් ඊයේ (18) පැවතී පලමු එක්දින තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 262 ලබා ගැනීමට සමත් විය. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 35කදී නොදැවී ලකුණු 43ක් ලබාගත් චාමික කරුණාරත්නයි. ඊට අමතරව නායක දසුන් ශානක ලකුණු 39ක් ද, චරිත් අසලංක ලකුණු 38ක් ද ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් ලබාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36.4ක් අවසානයේ දී නියමිත ඉලක්කය හඹා යාමට සමත් වූ අතර ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී තරඟය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන් පන්දු 95කදී නොදැවී 86ක් ලබාගත් අතර මංගල තරඟය ක්‍රීඩා කළ ඉශාන් ක්‍රිශාන් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.
තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ චාමික කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් තරඟය සම්බන්ධයෙන් අදහස් දැක්වු අතර ඔහු දැක්වූ අදහස් පහළින් සඳහන් කර ඇත.
ඉන්දියා කණ්ඩායම දෙවෙනි පෙළ කණ්ඩායමක් කියලා කිව්වට ඒගොල්ලන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් 5ක් පමණ තමයි අඩු. අනිත් හැමෝම ගොඩාක් තරඟ ක්‍රීඩා කරලා තියනවා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් විශ්වාසයකින් ක්‍රීඩා කළා. විකට් එක දඟපන්දු යවන්නන්ට වාසියක් තිබුණා. අපිට චාන්ස් දෙක තුනක් විතර මඟහැරුණා. ඒ චාන්ස් වලින් එකක් දෙකක් සාර්ථක කරගන්න පුලුවන් වුනානම් මම හිතනවා තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුණා.
ඉන්දියාව කියන්නේ ලෝකේ ඉන්න අංක එකේ,දෙකේ කණ්ඩායම. ඉතින් කොහොමත් ඒගොල්ලො අපිට ඇටෑක් කරනවා. ඔවුන් පවර්ප්ලේ එකේ ලකුණු 90+ විතර ලබාගත්තා. ඊට පස්සේ අපි කතා වුණා අපි ඩොට් බෝල් ගැන හිතන්නේ නැතුව විකට් ගන්න විතරක් බැලුවා. මොකද විකට් ගත්තොත් තමයි ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කරන්න පුලුවන්. අපි දැක්කා ඔවුන්ගේ විකට් එකක් දෙකක් ගියාට පස්සේ ඒගොල්ලෝ පහර දීමේ වේගය අඩු කළා. අපිට පවර්ප්ලේ එකේදී විකට් එකක් දෙකක් ගන්න තිබුනානම් තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුණා.
මම හිතන විදිහට තරඟයට පෙර ඉන්දීය ක්‍රීඩකයින් පිළිඹඳව අපි කළ විශ්ලේෂණ සාර්ථක වුණා. ඔවුන්ගේ බෝලස්ලට අපි හොඳින් පන්දුවට පහර දුන්නා. අපි පන්දුවට පහර දෙන කොට පිච් එක ස්ලෝව් වුණා. නමුත් ඔවුන් පහර දෙන්න ආවට පස්සේ විකට් වෙනස් වුණා. තරඟයට පෙර අපි බැටින්, බෝලින්, ෆීල්ඩින් හැම දෙයක්ම ප්ලෑන් කරනවා. සමහර වෙලාවට අපේ අතින් වැරදි සිදුවෙනවා. මම හිතනවා අනිත් තරඟ වලදී අපි මීට වඩා දෙයක් කරයි කියලා.
අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් බානුක එක්ක ක්‍රීඩකයින් හැමදෙනාම හොඳ ආරම්භයක් ගත්තා. නමුත් අපිට ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. අපි පන්දුවට පහර දෙන කොට විකට් එක ස්ලෝව් වුණ නිසා තමයි එහෙම වුණේ. ඒ නිසා තරඟය මැදදී අපේ ගොඩක් ඩොට් බෝල් ගියා. කොහොම හරි අපි ලකුණු 260 සීමාව පසු කිරීමට සමත් වුණා. අපිට අනිවාර්යයෙන්ම ලකුණු 300 සීමාවට යන්න පුලුවන් ක්‍රීඩයින් සිටිනවා. අපි 320ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වුණානම් හොඳ තරඟයක් දෙන්න තිබුණා.