අපිට ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට පුලුවන් – මශ්රෆී මොටාසා
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මැයි මස 15 වන දින බංගලාදේශයේ දී ආරම්භක වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සම්බන්ධයෙන් බංග්ලාදේශ හිටපු නායකයෙක් වන මශ්රෆී මොටාසා අදහස් දක්වා තිබෙනවා.
මේ වන විට අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේත්, බංග්ලාදේශය අංක 9 ස්ථානයේත් සිටියත්, මෙවර තරඟාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් බංග්ලාදේශයට ජයග්‍රහණය කළ හැකි බව මොටාසා පවසනවා.
මෙම තරඟාවලිය බංග්ලාදේශයේ පැවැත්වන බැවින්, ඉන්දියාව , එංගලන්තය හා ඕස්ට්‍රේලියාව හැරුණු විට සෙසු රටවල් බංග්ලාදේශයේදී තම කණ්ඩායම ඉදිරියේ අසාර්ථක වන බැවින්, ශ්‍රී ලංකාව පරාජයට පත්කර හැකි බවයි ඔහු පවසන්නේ.
මශ්රෆී මොටාසාගේ සම්පූර්ණ අදහස,
“මොන තරග රටාව ද ක්‍රීඩා කරන්නේ කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවානම්, ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරග ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ”
“සමහර විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ ටෙස්ට් පිටියේ ඉදිරියෙන්ම සිටින රටවල්වලට එරෙහිව අපිට වැඩි වාසි නොතිබෙන්න පුලුවන්. නමුත් අපි ඔස්ට්‍රේලියාව වගේම එංගලන්තයත් පරාජය කළා. ඉතින් ඇයි අපිට ශ්‍රී ලංකා පරාජය කරන්න බැරි”
“අපි දකුණු අප්‍රිකාවේදී තරග දෙකම දරුණු ලෙස පරාජයට පත්වුණා. අපි එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි හොඳින් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා බංග්ලාදේශය ධනාත්මකව ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරයි කියලා” – මශ්රෆී මොටාසා
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ වන විට ටෙස්ට් තරඟ 22ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 17ක්ම ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර බංග්ලාදේශය ජයග්‍රහණය කර ඇත්තේ එක් තරඟයක් පමණයි. තරඟ 4ක් ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.
මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23කින් යුත් මූලික සංචිතය මෙන්න. (Click)