අයි.පී.එල් තරඟාවලියක ක්‍රීඩා කළ දක්ශ ක්‍රීඩකයින් සිටින නිසා තරඟාවලිය ජයගත හැකියි – දසුන්
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ජුනි 7 දින ආරම්භ වීමට නියමිත වන අතර, අද (6) දින ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තරඟාවලිය පිළිබඳ අදහස් දක්වා සිටියා.
එහිදී ප්‍රථම වශයෙන්, මේ අවස්ථාවේදී අර්බුදයක් තිබෙන මොහොතක ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පැමිණීම සම්බන්ධයෙන් දසුන් ශානක ඕස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය ප්‍රකාශ කළා.
“අපේ රටේ තියන තත්වය එක්ක ඕස්ට්‍රේලියා කණ්ඩායම අපේ රටට පැමිනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.”
මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අයි.පී.එල් තරඟාවලියත් ක්‍රීඩා කළ බැවින් කණ්ඩායමට එය ශක්තියක් වන බවත් ඒ හේතුවෙන් තරගාවලි ජයක් ලබාගැනීමට හැකිබව දසුන් ශානක පවසා සිටියා..
“කණ්ඩායමක් විදිහට ගත්තාම අපිට හොඳ සූදානමක් තියනවා. අපි මේ අවුරුද්දේ ආරම්භයේදී ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තණතීරු වලදී ඕස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කරා.”
“නිමාවුන අයි.පී.එල් තරඟාවලියට අපේ ක්‍රීඩකයින් ගිහිල්ලා දක්ශතා අතර ඉන්නවා. මෙම තරඟාවලිය ජයග්‍රහණය කරවලා දීලා රටට කීර්තියක් ගෙනල්ලා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ අවස්ථාවේදී අපිට මෙම තරඟාවලිය ජයගැනීමට හොඳ අවස්ථාවක් තියනවා කියලා.”
පසුගිය තරඟාවලි වලදී කණ්ඩායමේ ස්තිර ක්‍රීඩකයින් කොවිඩ් රෝගයට හා ආබාධ වලට ගොදුරු නොවුනානම් තරඟාවලි ජයග්‍රහණ ලබාගැනීමට හැකියාව තිබුණු බව ද දසුන් ශානක පවසා සිටියා.
“පිතිකරණය ගත්තොත් නම් දරාපු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අපිට ඉන්නවා. කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක , භානුක රාජපක්ෂ වගේ හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. බෝලින් ගත්තොත් අපිට වර්ල්ඩ් ක්ලාස් බෝලර්ස්ලා කිහිපදෙනෙක් ඉන්නවා. ගියපාර ලෝක කුසලානයේ ඉදන් මේ ක්‍රීඩකයින් තමා අපේ කණ්ඩායමේ ක්‍රීඩා කළේ. අපේ බෝලින් වලින් වැඩි යමක් මෙම තරඟාවලියේ දී ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.”
“පසුගිය තරඟාවලි දෙකේදී අපේ පිතිකරණ අංශයේ පසුබෑමක් තිබුණේ නැහැ. ගොඩක්ම වුණේ අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කොවිඩ් ආසාදනය හා ආබාධ වලට ලක්වුණා. ඒක නිසා අපේ ටීම් පර්ෆෝමන්ස් එක නැතුව ගියා. අපේ ඒ ක්‍රීඩකයින් සිටියනම් ඕස්ට්‍රේලියා තරඟාවලියත් , ඉන්දියා තරඟාවලියත් ජයගැනීමට තිබුණා කියලා මම හිතනවා.”
මිකී ආතර්ගේ පුහුණුකාරධූරය අවසන් වීමෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නව ස්ථිර පුහුණුකරුවන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් නායකයා දක්වා සිටියේ මෙවන් අදහසක්.
“අලුත් පුහුණුකරුවන් ලංකාවට එද්දී දැනගෙන හිටියා අපේ ක්‍රීඩකයින්ගේ දක්ශතා මොනවද කියලා. අපි එක එක්කෙනා දන්නවා අපිට කරන්න තියෙන්නේ මොනවද කියලා. අපිට ඒගොල්ලන්ගෙන් ලැබෙන සපෝර්ට් එක ගොඩාක් හොඳයි. එයාලා අපිට පුලුවන් තරම් රිලැක්ස් එකේ සෙල්ලම් කරන්න දෙනවා. ඒක තමයි මම හිතන්නේ වියයුක්තේ.”
මේ අතර විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව එක්දින තරඟාවලිය ආරම්භ වන අතර, විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩාකළ කණ්ඩායම හා එක්දින කණ්ඩායම අතර වෙනස්කම් දැකගැනීමට හැකිබව ඔහු පැවසූවා.
“අපි තේරීම් කමිටුව එක්ව කතා කරලා තීරණය කරලා තියනවා අපේ එක්දින කණ්ඩායම, විස්සයි විස්ස කණ්ඩායම එක්ක වෙනස් වෙන්න ඕනේ කියලා. මොකද සමහර අවස්ථාව වලදී විස්සයි විස්ස ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එක්දින තරඟ වලට යොදා ගන්න අමාරුයි. ඒ නිසා විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම් දෙක අතර වෙනස්කම් තියේවි.”
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉතාමත් හොඳ පවර්හිටර්ලා සිටින අතර ඔවුන් හා සමානව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් සිටිනවා ද, යන්න මාධ්‍යවේදීයෙක් නැගූ ප්‍රශ්නයකට දසුන් ශානක පිලිතුරු ලබාදුන්නේ මෙලෙසින්,
“අපේ ක්‍රීඩකයින් පන්දුවට පහර දෙනවා වැඩියෙන් පේනෙන්නේ LPL වලදී, IPL වලදී වගේ තරඟාවලි වලදී. එතකොට තමා හයේ පහරවල් ගහනවා දකින්න පුලුවන් වෙන්නේ. අපේ බැරිකමක්, නොහැකියාවක් නෙමේ තියෙන්නේ. මිනිස්සු දැකලා නැති එකක් තමයි තියෙන්නේ.
භානුක රාජපක්ෂ , කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක , දනුශ්ක ගුණතිලක වගේ නො. 8 වගේ වෙනකන් ඕනෑම වෙලාවක හයේ පහරක් ගහන්න පුලුවන් ක්‍රීඩකයින් ඉන්නවා. ඒනිසා අපිටත් ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට සමානව හොඳ පවර්හිටර්ස්ලා ඉන්නවා.”
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, ඒ හේතුවෙන් කණ්ඩායමට විශාල ශක්තියක් වන බව දසුන් ශානක ප්‍රකාශ කළා.
“ලසිත් මාලිංගගේ Tactics ඉතාමත් හොඳයි. අවුරුදු ගාණක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා නායකත්වයත් ලබාදීලා ඔහු ගොඩාක් පරිණත ක්‍රීඩකයෙක්. ඔහුගේ උපදෙස් ගොඩාක් වටිනවා. ඒ වගේම මාලිංග අයි.පී.එල් එකේ පුහුණුකරුවෙක් විදිහට වැඩකරලා ලබාගත්ත අත්දැකීමත් ගොඩාක් ලොකුයි. ඒ දැනුමත් අපේ ක්‍රීඩකයින්ට ලබාදෙනවා. ලසිත් මාලිංගට මේ අවස්ථාව ලබාදීම නිසා අපිට ගොඩාක් වැදගත් වෙයි.”
පහුගිය කාලය පුරාවයම ශ්‍රී ලංකා තණතීරු වලදී දඟපන්දු යවන්නන්ගේ සහයෙන් තරඟ ජයග්‍රහණය කළ අතර මෙවර දඟපන්දු යවන්නන් හා වේගපන්දු යවන්නන් යන දෙගොල්ලන්ගෙන්ම තරඟාවලි ජයග්‍රහණය ලබාගැනීමට හැකියාවත් ඇති බවටත් නායකයා ප්‍රකාශ කර සිටියේ,
“බංග්ලාදේශ ටෙස්ට් සීරිස් එකේ වේගපන්දු යවන්නන් දක්වපු දක්ශතාවය අගය කළ යුතුයි. ඒ වගේ තණතීරු වල හොඳින් පන්දු යවලා තරඟාවලි ජයග්‍රහණාක් ලබාගත්තා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. අයි.පී.එල් තරඟාවලියේත් දුශ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ ක්‍රීඩා කළා. අවාසනාවකට ලහිරු කුමාර ආබාධයකට ලක්වුණා. නැත්නම් ඔහුටත් තිබුණා අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩාකරන්න. වේගපන්දු , දඟපන්දු කියලා වෙනසක් නැහැ. මේ වෙද්දී දෙගොල්ලන්ටම තරඟ ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියනවා.”
තවද, ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ටෙස්ට් තරඟ පමණක් ක්‍රීඩා කරන අතර, නායක දසුන් ශානක පවසා සිටියේ නායකයෙකු වශයෙන් ඔහුගේ සේවය විස්සයි විස්ස හා එක්දින තරඟ වලට ලබාගන්න පෞද්ගලිකව කැමතී බවයි.
“තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස් එක්ක කතා කරලා තියෙන්නේ. ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ලංකාවේ හිටපු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඔහුගේ දායකත්වය ඕනෑම අවස්ථාවක කණ්ඩායමට ලබාගන්න නායකයෙක් විදිහට මම කැමතියි. ඉස්සරහට යද්දී ලංකාවේ ක්‍රිකට් වල තියන ප්ලෑන් එකත් එක්ක තේරීම් කමිටුව ඒක තීරණය කරාවි.”
මෙවරත් කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස්ට ලබාදෙන බව හා කණ්ඩායමේ අංක තුන ස්ථානය සම්බන්ධයෙන් දසුන් ශානක පවසා සිටියේ මෙවැන්නක්,
පහුගිය තරඟාවලි කිහිපයම කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස්ට තමයි ලබාදුන්නේ. මෙවරත් එම කාර්යය ඔහුට ලබාදෙනවා. අංක තුන ස්ථානයේ අපේ දිහින් දිගටම ක්‍රීඩා කළේ චරිත් අසලංක. නමුත් අපේ කණ්ඩායමේ වමත් පිතිකරුවන් ගොඩාක් සිටින නිසා කණ්ඩායම බැලන්ස් කරගන්නත් ඕනේ. ඒක ගැන අවසාන තීරණය අද අපි ලබාගන්නවා.
මේ අතර තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිකුත් කළ ප්‍රවේශ ප්‍රත්‍ර නිකුත් කළ දිනයේ පැය කිහිපයකදී අවසන් වූ අතර, ශ්‍රී ලංක ප්‍රේක්ෂකයින්ගේ උත්යෝගය සම්බන්ධයෙන් දසුන් ශානක දක්වා සිටියෙ මෙවන් අදහසක්,
“රටේ මෙච්චර ප්‍රශ්න තියද්දී, අපේ ප්‍රේක්ෂකයින් තරඟ නැරඹීම සඳහා ටිකට් ලබාගන්න පෝලිම් වල හිටපු විදිහ අපි දැක්කා. ඔවුන්ගේ උත්යෝගය කොපමණද කියලා අපි දැක්කා. අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් අපි මෙම තරඟාවලිය ජයගැනීමට බලාපොරොත්තු වෙනවා.”