අවිශ්ක ප්‍රනාන්දු දිගටම නොම්බර 4 ක්‍රීඩා කිරීමට සැලැසුම් කර ඇති බවට දිනේශ් චන්දිමාල්ගෙන් ඉඟියක්.

විස්සයි විස්ස ලෝක කුසලානය ලබන 17 වන දින ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟ 3ක් ක්‍රීඩා කර යුතු අතර, අද දින ශ්‍රී ලංකා සංචිතය ඕමානයේ සිට අබුඩාබි බලා පිටත් වී තිබෙනවා.

 

 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මේ වන විට කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරන දිනේශ් චන්දිමාල් අද දින මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර එහිදී කණ්ඩායමේ ඉදිරි සැලැසුම් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

ඕමානයට එරෙහිව පැවතී තරඟ දෙකේදී, මීට පෙර ආරම්භ පිතිකරු වූ අවිශ්ක ප්‍රනාන්දු නොම්බර 4 ක්‍රීඩා කරමින් හොඳින් දස්කම් දැක් වූ අතර, අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි තරඟවලිදීත් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට සැලැසුම් කර ඇති බවට මාධ්‍යවේදියෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට දිනේශ් චන්දිමාල් පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්,

 

 

“අපි ඕමානයට එන්න කලිනුත් පුහුණු තරඟ 3ක් ක්‍රීඩා කළා. ඒ තරඟ තුනේදිත් අවිශ්ක ප්‍රනාන්දු නම්බර් 4 තමයි ක්‍රීඩා කලේ.  ඔහු එම පුහුණු තරඟ තුනේදිත්, ඕමානය සමඟ තරඟ දෙකේදිත් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. අපි ලඟ හොඳ සැලසුම් තියනවා. ඒ සැලසුම් හරියට එදා දවසට ක්‍රියාත්මක කර ගන්න පුලුවන්නම් මම හිතනවා අපිට මේ තරඟාවලියේදී ලොකු ගනනක් යන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ”

 

 

අබුඩාබි තණතීලි හා කාළගුණය සම්බන්ධයෙන් දිනේශ් චන්දිමාල් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට වඩා උණුසුම වැඩි බව‍යි.

 

“අපි අබුඩාබි වලට ආවේ ඊයේ. ඒ නිසා තවම අපි තණතිල්ල ඒ කිසිම දෙයක් දැකලා නැහැ. දැනට කාලගුණ ගත්තාම එලියට ගියාම ලොකු රස්නෙයක් තියනවා. ඒක තමා ලංකාවට වඩා මෙහෙ දැනට මම දකින වෙනස.”

 

 

කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්වය හේතුවෙන් ඔහුට පසුගිය තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට නොලැබීම හේතුවෙන් දිනේශ් චන්දිමාල් හට කඩුලු රැකීමේ වගකීම පැවරුනු අතර, නැවත කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම වෙත පැමිණී විට දිනේශ් චන්දිමාල්ට පැවැරෙන කාර්යය පිලිඹඳව ඔහු මෙලෙස සඳහන් කර සිටියා.

 

 

“දැනට මට ලැබිලා තියන කාර්යය ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීම හා කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්න. දැන් ගොඩක් වෙලාවට කුසල් ජනිත් සම්පූර්ණයෙන්ම සුව අතට හැරිලා තියන නිසා ඔහුට කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යයට ලැබෙන්න පුලුවන්. නමුත් මට අනෙත් ස්ථාන වල පන්දු රකින්න සහ කණ්ඩායමට අවශ්‍ය විදියට ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න හැකියාවක් තියනවා.”

 

 

ලෝක කුසලානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේශ් චන්දිමාල් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයින් සියලුම දෙනා හොඳ මානසිකත්වයෙන් සිටින බවත්, මෙම තරඟාවලිය හොඳින්ම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ය.

 

අපිට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මූලික වටයේ කණ්ඩායම් තුනක් එක්ක සෙල්ලම් කරන්න ලැබිලා තියනවා. අපි කණ්ඩායම් වශයෙන් එම කණ්ඩායම් තුන පිළිඹඳව හොඳ අධ්‍යනයක් කරලා තියනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ පන්දු යවන්නන් පන්දු යවන ආකාරය, පිතිකරුවන්ගේ දුර්වලතා මොනවද , ඔවුන්ගේ දක්ශතාවයන් මොනවද, කියන දේවල් අපි අධ්‍යනය කරලා තියෙන්නේ. අපි සැලසුම් කරන දේවල් එදා දවසේ අපිට කරගන්න පුලුවන්නම් ඒක තමයි අපිට අවශ්‍යම දේ. අපේ ක්‍රීඩකයින් සියලුම දෙනා හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. මේ තරඟාලිය හොඳින්ම ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *