අසේල ගුණරත්න ලකුණු 50ක් ගහන්න පන්දු 40ක් 50ක් වැය කළේ නැහැ – ලසිත් මාලිංග
ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
මේ අතර ලසිත් මාලිංග අද (11) Payback නම් යූටියුබ් වැඩසටහනකට එක් වෙමින් තරඟය පිළිඹඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කළ අතර, එහිදී අවිශ්කගේ රන්වුට් එක, පවර්ප්ලේ එකේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි විම මෙන්ම බානුක රාජපක්ෂගේ අසාර්ථකත්වය පිළිඹඳව සාකච්ඡා කෙරුණා.
“විස්සයි විස්ස වලදී දෙවෙනියට පන්දුවට පහරදෙන කොට අපි කඩුලු ඉතුරු කර ගත්‍තා කියන එක තරඟය ජයග්‍රහණයට හේතුවක් නෙමේ. අවශ්‍ය රන්රෙට් එක තියාගෙන ගිහිල්ලා අවසානයේදී පන්දු දෙකකින් තරඟය ජයග්‍රහණය කිරීමට පුලුවන් විදියට මුල ඉදලම පන්දුවට පහර දෙන්න ඕනේ.”
“අපිට පවර්ප්ලේ එකේදී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 37ක් 39ක් වගේ සංඛ්‍යාවක්. පවර්ප්ලේ එකේදී හතරේ පහරවල, හයේ පහරවල් නොලැබෙන කොට, ලකුණු නැතිවෙන කොට පන්දුවට පහර දෙන ක්‍රීඩකයින්ට පීඩනයක් ඇතිවෙනවා. එතකොට තියන එකම විසදුම තමයි දුවලා හරි ලකුණු ලබාගන්න එක. ඒ පීඩනය නිසා තමයි ඒ විදියට අවිශ්ක දුවද්දී දැවී යාමට ලක් වුණේ.”
මේ අතර විස්සයි විස්ස තරඟ වලදී ක්‍රීඩකයින් ලකුණු ලබාගැනීමට වැඩි පන්දු සංඛ්‍යාවක් යොදා ගැනීමට නොහැකි බව පවසා සිටි අතර, 2017 දී අසේල ගුණරත්න විසින්, ඕස්ට්‍රේලියාවේ දී වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් තරඟ ජයග්‍රහණය කරවීම ගැන මාලිංග විසින් ප්‍රකාශ කර සිටියේ මෙවැන් අදහසක්.
අසේල ගුණතිලක ජාතික කණ්ඩායමට පැමිණෙන කොට, මම ඇස් දෙකෙන් දැකලා තියනවා ඔහු ආර්මි කණ්ඩායමෙ ඒ වගේ තරඟ 10ක් 15ක් විතර ජයග්‍රහණය කරවලා තිබුණා. ඒ නිසා අසේල ඒ ගේම් එක දැනගෙන හිටියා. ඔහු ඕස්ට්‍රේලියාවේ ඒ තරඟ දිනවන කොට ලකුණු 50ක් ලබා ගන්න කිසිම වෙලාවක පන්දු 40ක් 50ක් භාවිතා කළේ නැහැ. නිතරම පන්දු 20ක් 30ක් අතර ඔහු ලකුණු 50 ලබාගත්තා. එතකොට ගේම් එකක් වෙනස් කරන්න පුලුවන්. ඒක තමයි මේ විස්සයි විස්ස තරඟවලදී අවශ්‍ය වෙන්නේ. ක්‍රීඩකයෙක් එදා දවසේ කරන දේවල් අපි බුද්ධියෙන් බලන්න ඕනේ. හිතෙන් බලලා හරියන්නෑ. හිතෙන් බැලුවාම වැරදි පේන්නේ නැහැ.
ඊට අමතරව ලසිත් මාලිංග විසින්, බානුක රාජපක්ෂ, නම්බර් 3 ෆේල් වන විට ඔහුව පිතිකරණ ස්ථානයේ වෙනස් කරමින් කණ්ඩායමේ රඳවාගැනීමට නොහැකි බවත්, ඔහු නැවතත් ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කර, දස්කම් අතරට පැමිණෙමින් නැවතත් කණ්ඩායම සමඟ එක්වීය යුතු බව පවසා සිටියා.
“බානුක රාජපක්ෂ පිට පිට ඉනිම් 3කදීම ලකුණු 0ට දැවී ගියා. ඔහුගෙන් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය දේ වුණේ නැනැ. දැන් කට්ටිය කියනවා බානුකට නම්බර් 03 නැතුව පිතිකරණය ස්ථානය වෙනස් කරලා බලන්න ඕනා කියලා. එහෙම ෆේල් වෙන කොට ඔහුව කණ්ඩායමේ තියාගන්නම ඕනේ කියලා ස්ථානය මාරු කර කර ක්‍රීඩා කරවලා හරියන්නේ නැහැ. ඔහු අංක 3 ක්‍රීඩා කරලා එතනින් ෆේල් නම්, හොඳම දේ තමයි ඔහුව කණ්ඩායමෙන් එළියෙන් තියලා, අංක තුනට සුදුසු ක්‍රීඩකයෙක් සොයාගන්න ඕනේ. එලියට යන ක්‍රීඩකයා ආයෙමත් ක්ලබ් ක්‍රිකට් ගහලා හොඳින් ලකුණු අතරට ඇවිල්ලා ආයෙමත් ජාතික කණ්ඩායමට එක්වෙන්න දැනගන්න ඕනේ. ක්‍රීඩකයින් දිහා ආදරයෙන් හිතන කොට, ඒ විදියට හිතෙනවා. ඔයාලා ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවෙනකන් බලන් ඉන්නවනම් ක්‍රීඩකයින් දිහා ආදරයෙන් බලන්න එපා, බුද්ධියෙන් ක්‍රිකට් බලන්න.”
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න. (Click කරන්න)