ආසියා කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක හා භානුක රාජපක්ෂ දැක්වු අදහස්.
කණ්ඩායම් 6 කින් සමන්විත මෙවර ආසියා කුසලාන තරඟාවලිය අගෝස්තු 27 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, පලමු තරඟය ලෙස ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තායට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරඟාවලිය ආරම්භයට පෙර භාණුක රාජපක්ෂ හා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට සහභාගි වූ අතර, එහිදී මෙම තරඟාවලිය සම්බන්ධව හා තරඟාවලියට සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
මෙහිදී, ශ්‍රී ලංකාවට පළමු තරඟය ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩා කිරීමට ලැබීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට වාසිදායක වන බව භානුක රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.
“තරඟාවලියේ පලමු තරඟය ඇෆ්ගනිස්තානය සමඟ සෙල්ලම් කරන්න ලැබෙන එකෙන් අපිට ලොකු වාසියක් තියනවා. මොකද එක්ස්පීරියන්ස් එක අතින් බැලුවාම අපේ කණ්ඩායම තමයි ඉහළින්ම සිටින්නේ. ඇෆ්ගනිස්තානය කියන්නේ අනපේක්ෂිත කණ්ඩායමක් වුනත්, අපි හොඳින් තරඟාවලියට සූදානම් වුණා. මම හිතනවා අපිට හොඳ තරඟයක් දෙන්න පුලුවන් වෙයි කියලා.”
පහුගිය T20 ලෝක කුසලානයද UAE වල පැවැත්වූ අතර එහිදී භානුක රාජපක්ෂ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බැවින්, මෙම තරඟාවලියේදීත් හොඳින් ලකුණු ලබාගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර ඉහළින්ම සිටීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර සිටියා.
“මම හිතනවා ගියපාර ලෝක කුසලානයේදී පෞද්ගලිකව මම හොඳින් ලකුණු ලබාගත්තා කියලා. කණ්ඩායමට අවශ්‍ය වෙලාවේ මම කණ්ඩායමට ලකුණු ලබාගෙන දුන්නා. මම ගොඩක්ම UAE වල සෙල්ලම් කරලා තියනවා. ඒක නිසා මට හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා. තරඟාවලිය පුරාවට ලකුණු රැස්කරලා වැඩිම ලකුණු ලාභීන් අතර ඉහළින්ම සිටින්න බලාපොරොත්තු වෙනවා.”
නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ තරඟාවලියට පෙර ක්‍රීඩකයින් හොඳින් පුහුණුවීම් සිදුකළ බැවින්, තරඟාවලිය පුරාවට හොඳින් දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාවක් ඇති බව පවසා සිටියා.
“අපි මේ දින කිහිපයේදීම පුහුණුවීම් කළ නිසා කණ්ඩායමක් විදිහට හැමදෙනාම තරඟාවලියට හොඳ සූදානමකින් සිටිනවා. මෙම තරඟාවලියෙත් සිටින්නේ අපි දිගටම ක්‍රීඩා කළ ක්‍රීඩකයින්. මම හිතනවා අපිට හොඳ තරඟයක් දෙන්න පුලුවන් වෙයි කියලා.”
ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සිටින බැවින්, පසුගිය තරඟ වලදී ඉහළම දස්කම් දක්වා ඇති ක්‍රීඩකයින් දෙදෙනාව ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරවීමට තීරණය කර ඇති බවට නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.
“මෙම ක්‍රීඩාංගන වලදී අපේ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. පසුගිය ලෝක කුසලානයේදී ලබාගත්ත අත්දැකීම් මෙම තරඟාවලියට ගොඩක් උදව් වෙනවා. සංචිතයේ ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සිටින නිසා පහුගිය තරඟවලදී වැඩියෙන්ම දස්කම් දක්වලා තියන ක්‍රීඩකයින් දෙදෙනාව අපි ආරම්භක පිතිකරුවන් විදිහට යොදාගන්න අපි තීරණය කරලා තියනවා.”
මෙම තරඟාවලිය සඳහා කණ්ඩායමේ සිටි ප්‍රධාන වේගපන්දු යවන්නන් නොමැති වීම හේතුවෙන්, යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ හෝ ඩිල්ශාන් මධුසංක යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවද නායකයා පැවසූවා.
“අපේ ප්‍රධාන පන්දුයවන්නන් නොමැති වීම නිසා අඩුවක් තිබුණට මම හිතන්නෑ තරඟාවලියට ඒක පාඩුවක් වෙයි කියලා. අපේ සංචිතයේ සිටින පන්දු යවන්නන් දක්ශ පන්දු යවන්නන්. ඔවුන්ට අවස්ථාවක් ලබාදෙන්න මේක් තමයි හොඳම වෙලාව. මම නායකයෙක් විදිහට, පහුගිය කාලයේදීම මගේ කණ්ඩායම් වල නවක ක්‍රීඩකයින් ක්‍රීඩා කරලා තියනවා. මම නවක පන්දු යවන්නන්ගෙන්ද උපරිමය ලබාගෙන තරඟ ජයග්‍රහණය කරන්න උපරිම උත්සහ කරනවා.”
“අපි මීට කලින් ක්‍රීඩා කර සංයුතියෙන්ම තමයි මෙම තරඟාවලියත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට චාමික කරුණාරත්න සිටිනවා. ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා වමත් හා දකුණත් පන්දුයවන්නන් විදිහට ක්‍රීඩකයින් දෙදෙනෙක්ගෙන් යුක්තව තමයි ක්‍රීඩාකරන්න බලාපොරොත්තු වෙන්නේ.”
“පහුගිය කාලයේදී අපිත් එක්ක ක්‍රීඩාකළ ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනා වන දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර යන ක්‍රීඩකයින් තිදෙනාම මෙම තරඟාවලිය ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ නිසා බොහෝවිට ඩිල්ශාන් මධුසංක හෝ මතීෂ පතිරණට විස්සයි විස්ස වරම් හිමිවෙන්න පුලුවන්.”
අවසාන වශයෙන්, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයින්ට දක්වන සපෝර්ට් එක හේතුවෙන් දසුන් ශානක ස්තූතිය පළ කර අතර, මෙම තරඟාවලියේදීත් ඔවුන්ට සහයෝගය දක්වන ලෙස ඉල්ලාසිටියා.
“පසුගිය කාලවකවානුව තුළම ක්‍රීඩාලෝලීන් ඉතාමත් උත්යෝගයෙන් යුක්තව තරඟ නරඹන්න පැමිණියා. ඒ වගේම අපිට ගොඩාක් සපෝර්ට් කළා. අපි ක්‍රීඩකයින් විදිහට තරඟ ජයග්‍රහණය කරවන්න අපිට වගකීමක් තියනවා. එතකොට තමයි ක්‍රීඩකයින් උත්යෝගිමත් වෙලා තරඟ නරඹන්න පැමිණෙන්නේ. මේ තරඟාවලියේදීත් අපිට සපෝර්ට් කරන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”