ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවීම අපිට විශාල පාඩුවක් – දිමුත් කරුණාරත්න

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර, තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් තරඟය ගැන අදහස් දක්වා සිටියා.

 

 

එහිදී මෙම තරඟය පරාජයට වීමේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරුවන් ලබාගත යුතු බව පවසා සිටි අතර, තණතිල්ලේ හොඳම දවස වන පලමු දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පරාජයට මූලික හේතුව බවද දිමුත් කරුණාරත්න පවසා සිටියා.

 

“අපි සෙල්ලම් කරපු විදිහ ගැන නායකයෙක් විදිහට කණගාටුවක් තියනවා. ගොඩක්ම දෙවෙනි ඉනිමට වඩා පලවෙනි ඉනිමේදී අපිට මීට වඩා හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න තිබුණා. මොකද විකට් එකේ හොඳම දවසේ තමයි අපි ලකුණු 212කට ඕල් අවුට් උනේ. මම හිතන්නේ එතන තමයි අපි මුලින්ම වරද්දගත්‍ත තැන. ”

 

 

“නමුත් මම හිතන්නේ අපි හිතුවට වඩා ගොඩක් දේවල් කරන්න ගියා. දෙවෙනි ඉනිමෙදි අපි බැලුවේ ඉක්මනින් ලකුණු ටිකක් අරගෙන එයාලට පීඩනයක් ලබාදෙන්න. නමුත් අපි ගත්ත තීරණය සමහර තැන් වලදී වැරදුනා කියලා මම හිතනවා.”

මෙම තරඟයේදී ඕස්ට්‍රේලියාව දඟපන්දු යවන්නන් හොදින් පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, මෙම තණතිල්ලේ ක්‍රීඩා කිරීමට නොසුදුසු තණතිල්ලක්ද බවට මාධ්‍යවේදීයකුගෙන් නැඟුන ප්‍රශ්නයකට නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ එය එසේ නොවන බවයි.

 

 

“විකට් එකට මුකුත් කියන්න බැහැ, මොකද ඕස්ට්‍රේලියා පිතිකරුව ලකුණු 300කට වඩා ලබාගත්තා. මම හිතන්නේ අපි පිතිකරුවන් විදිහට සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. අපි දැනගෙන හිටියා මේ විකට් එක කැපෙනවා කියලා. අපේ දඟපන්දු යවන්නන් ගත්තත් එයාලත් ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට ගොඩාක් අඩුවෙන් තමයි පීඩනයක් ලබාදුන්නේ.”

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ශ්‍රී ලංකා සංචිතය සමඟින් කාලයක් තිස්සේ තරුණ ක්‍රීඩකයෙක් වන සුමින්ද ලක්ශාන් රැඳීසිටි අතර, සුමින්ද ලක්ශාන් ක්‍රීඩා නොකර මෙම තරඟයේදී කලින් සංචිත වල නොසිටී ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පැවසූවේ මෙවන් අදහසක්,

 

“අපි කණ්ඩායමකට නවක ක්‍රීඩකයෙක් ගන්න කොට ගන්නේ එයාලට එක්ස්පීරියන්ස් එක ලබාදෙන්න. මේ තරඟාවලියේ දිල්ශාන් මධුසංක , දුනිත් වෙල්ලාලගේ අපිත් එක්ක එකතුවෙලා හිටියා. ක්‍රීඩකයෙක් සංචිතයට එකතුකර ගත්ත කියලා, කවුරු හරි ෆේල් වුණා කියලා අනිවාර්යයෙන්ම ඒ නවක ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා කියන සහතිකය ඇතිව නෙමේ සංචිතයට ගන්නේ. ඔවුන්ට එක්ස්පීරියන්ස් එක ගන්න තමයි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.”

 

 

“එක්දින තරඟාවලියේදී අපි දැක්කා ජෙෆ්රි වැන්ඩසේ ඉතාමත් හොඳින් පන්දු යැව්වා. අන්තිම නැශනල් සුපර් ලීග් එකෙත් හොඳටම සෙල්ලම් කරලා තිබුණා. ඒ නිසා අපි හිතුවා වැන්ඩසේටත් මේ විකට් එකේ ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ නිසා තමයි ඔහුට අවස්ථාවක් ලබාදුන්නේ.”

 

 

නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙක් ලෙස ද ඉනිම් දෙකේදීම අසාර්ථක වූ අතර, තමන් කණ්ඩායම වෙනුවෙන් උපරිමය කිරීමට බලාපොරොත්තු වන නමුත් මෙම තරඟාවලියේ එය සිදුකිරීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කර සිටියා.

“මම පුලුවන් තරම් බලන්නේ කණ්ඩායමට උපරිම දේ කරන්න. පලවෙනි ඉනිමේදීත් මම බෝල් 80කට වඩා සෙල්ලම් කරා. ඔවුන්ගේ ඉන්නෙත් ලෝකේ හොඳම පන්දු යවන්නන්. මම බැලුවේ ගොඩක්ම විකට් එකේ ඉදලා ලකුණු ලබාගන්න. නමුත් අවාසනාවන්ත විදිහට මට ඒක කරගන්න බැරි වුණා. කණ්ඩායමක් විදිහට ගත්තොත් මගෙන් කණ්ඩායමට තව වෙන්න ඕන දේවල් ගොඩාක් තියනවා.”

 

 

මෙම තරඟයේදී අනෙක් පන්දු යවන්නන් හට හොඳින් පන්දුවට පහර දෙන අවසානයේදී, හොඳින් පන්දු යවමින් සිටි දනංජය ද සිල්වා පන්දු යැවීමට යොදා නොගැනීම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්,

 

“දනංජය ද සිල්වාට හොඳ කන්ට්‍රෝල් එකක් තිබුණා. මම ගොඩක්ම ඔහුව පන්දු යවන්න යොදාගත්තේ වමත් පිතිකරුවන් දෙදෙනෙක් ඉන්න කොට. සුලඟත් එක්ක ඒ පැත්තෙන් එකම බෝලර් කෙනෙක්ට පන්දුයවන්න අමාරුයි. එකපැත්තකින් රමේශ් මෙන්ඩිස් හොඳින් පන්දු යවපු නිසා තමයි අනෙක් පැත්තෙන් මම වැන්ඩසේ හා ලසිත් ඇඹුල්දෙණියව යොදාගත්තේ. අපි ඒක කණ්ඩායම එක්ක කතා කරලා ගත්ත තීරණයක්.”

 

 

“Stats බලන කොට කියන්න ලේසියි ඕවර් 5ට ලකුණු 8යි ගහලා තිබුණේ කියලා. නමුත් තරඟය අතරතුරේදී අපි ගන්න තීරණ ගන්නේ ගොඩක් දේවල් හිතලා. ඒක සමහර විට හොඳ වෙන්න පුලුවන් නරක වෙන්න පුලුවන්. දනංජය සමහර විට දකුණත් පිතිකරුවා කමින්ස්ට ඕවරයක් දාලා හයේ පහරවල් තුන හතරක් ගැහුවනම්, ඇයි දනංජය ද සිල්වාට ඒ පැත්තෙන් බෝල් කරන්න දුන්නේ කියලා අහන්න තිබුණා. හැමෝටම ලේසියි තරඟයක් අවසානයේදී Stats බලලා අරක කරන්න තිබුණා මේක කරන්න තිබුණා කියලා කියන්න.”

 

 

පලමු තරඟය අතරතුරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේශ්ඨ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් කොවිඩ් 19 වෛරසය වැලදීම හේතුවෙන් තරඟයෙන් ඉවත්වීමට සිදුවන අතර, ඒ හේතුවෙන් මීලඟ තරඟය සඳහා කණ්ඩායමක් තෝරාගැනීමේදී නායකයෙකු වශයෙන් දිමුත් කරුණාරත්න හට විශාල පීඩනයක් බවද ඔහු අවසානයේදී ප්‍රකාශ කර සිටියා.

 

 

“ඇන්ජලෝ කොවිඩ් රෝගය වැලදීම නිසා ඉවත්වුණ එක කණ්ඩායමට ගොඩක් පාඩුවක්. අපි දන්නෙ නෑ ඔහු ඊලඟ තරඟය වන විට ඔහු සුවවෙයිද නැද්ද කියලා. අපි ඇන්ජලෝ එක්ක තමයි හිටියෙත්. ඉස්සරාට තව කාට හැදෙයිද නැද්ද කියලා කියන්නත් බැහැ. ඇත්තටම නායකයෙක් විදිහට ඊලඟ තරඟටට කණ්ඩායමක් තෝරද්දී ලොකු පීඩනයක් තියනවා. අපි හොඳ තරඟයක් දීලා නෙමේ තරඟය පැරදුනේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *