ඇන්ජලෝ මැතිව්ස් මෙම තරඟයේදී පන්දු යවනවා – දනන්ජය ද සිල්වා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයේ පලමු දිනය අද (29) පැවැත්වූ අතර, වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ ශ්‍රී ලංකා පලමු ඉනිම අද දිනය අවසන් වන විට එක් කඩුල්ලකට ලකුණු 113ක් ලබාගැනීමට සමත් වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 42කට දැවී ගිය අතර, නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 61ක් ලබාගෙන සිටිනවා.

 

 

අද තරඟයෙන් අනතුරුව දනන්ජය ද සිල්වා මාධ්‍ය හමුවකට සහභාගි වූ අතර, එහිදී මෙම තරඟය සම්බන්ධව හා චරිත් අසලංක , පැතුම් නිස්සංක සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුයැවීම ගැන ද සාකච්ඡා කෙරුනා.

ප්‍රමාද වී ආරම්භ වූ මෙම තරඟය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් දනන්ජය ද සිල්වා ප්‍රකාශ කරේ මෙවන් අදහසක්,

 

 

“තණතිල්ල අද පලවෙනි දවසේ ඉදන්ම දඟකැවෙන්න ගත්තා. ඒ නිසා අපි තවම ලකුණු කීයක් විතර ගහනවද කියලා තීරණය කරලා නැහැ. තව දවස් හතරක් තියනවා. එතකොට එන්න එන්න දඟකැවීම වැඩිවෙනවා. අපි පලමු ඉනිමේ ලබාගන්න ලකුණු ප්‍රමාණය තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ නිසා අපි පලමු ඉනිමට ලකුණු 300ක් 350ක් විතර ලබාගත්තොත් මම හිතනවා අපිට තරඟය ජයග්‍රහණය කිරීමට හැකියාව තියනවා කියලා.”

 

 

“දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක කිව්ව විදියටනම් තණතිල්ල තෙතමනය තියනවා කියලා. ඒ තෙතමනය තියන නිසා තමයි දඟකැවීම වැඩි වුණේ. වේගපන්දු යවන්නන්ට පන්දුවට පහර දීම ලේසි නැහැ කිව්වා. තණතිල්ල ගොඩක් ස්ලෝව් නිසා ඉස්සරහට දඟපන්දු යවන්නන්ට ඉස්සරහට ගොඩක් උදව් වේවි කියලා මම හිතනවා.”

 

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනස්කමක් සිදුකරමින් ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් සමඟින් ක්‍රීඩා කිරිම සම්බන්ධයෙන් දනන්ජය ද සිල්වා ප්‍රකාශ කර සිටියේ ඔවුන් අපගේ පිතිකරුවන් සම්බන්ධයෙන් ප්ලෑන් එකක් ඇතිව එලෙස කණ්ඩායමේ වෙනසක් සිදුකර ඇති බවයි.

“කොදෙව් කණ්ඩායමේ ඕෆ් ස්පිනර් කෙනෙක් වෙනුවට ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් ක්‍රීඩා කරනවා. අපේ කණ්ඩායමේ දකුණතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් ගොඩක් ඉන්න නිසා එයාලට මොකක් හරි ප්ලෑන් එකක් ඇති.”

 

 

අද දින ශ්‍රී ලංකා 157 වන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක ටෙස්ට් වරම් දිනාගත් අතර, දනන්ජය ද සිල්වා ඔහු ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකි ක්‍රීඩකයෙක් බවට පත්වීමට හැකි ක්‍රීඩකයෙක් බවයි.

 

 

“පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ චරිත් අසලංක හොඳින් පන්දුවට පහරදුන්නා. ඉතින් එයා හොඳ පීක් එකේ ඉන්නවා. මම හිතන්නේ කෙනෙක් හොඳින් ලකුණු අතර ඉන්න කොට ලැබෙන අවස්ථාව තමයි ගොඩාක් වටින්නේ. චරිත් අසලංක නෙට්ස් වලත් හොඳින්ම පන්දුවට පහරදුන්නා. පුහුණුකරුවන් හා තේරීම් කමිටුව චරිත් අසලංක ගැන ගොඩාක් උනන්දුයි. මම හිතනවා ඔහු ලංකාව වෙනුවෙන් ගොඩාක් ලකුණු ලබාගන්න පුලුවන් ක්‍රීඩකයෙක් වෙයි කියලා.”

 

 

පලමු තරඟයේ දනන්ජය ද සිල්වා පන්දු යවමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වූ අතර, මෙම තරඟයේ ඔහුගේ පන්දු යැවීම හා, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම ගැන ද ඔහු විසින් අදහස් දක්වා සිටියා.

“කලින් තරඟයේදීත් මට කියලා තිබුණේ මට පන්දු යවන්න වෙයි කියලා. රමේශ් මෙන්ඩිස් ඉතා හොඳින්ම පන්දු යවපු නිසා තමයි මට ගොඩාක් අඩුවෙන් පන්දුයවන්න ලැබුණේ.”

“ඇන්ජලෝ මැතිව්ස් අනිවාර්යයෙන්ම සුරංග ලක්මාල් සමඟ අලුත් බෝලයෙන් පන්දු යවනවා. ඒක ඊයේ කණ්ඩායම එක්ක කතා කරලා ගත්‍ත තීරණයක්.”

 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක ඔහුගේ පලමු තරඟ කිහිපයේදී පිතිකරණ ස්ථානයේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කළ අතර, මෙවර ළහිරු තිරිමාන්න මෙම තරඟාවලිය ක්‍රීඩා නොකිරීමත් සමඟ ඔහුට ආරම්භ පිතිකරු බවට ලෙස ඉනිම ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. මේ සම්බන්ධයෙන් දනන්ජය ද සිල්වා ප්‍රකාශ කළ අදහස,

 

 

“පැතුම් නිස්සංකට පලවෙනි තරඟ කිහිපය පිතිකරණ ස්ථානයේ පහළින් තමයි පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණේ. ඒක නිසා අපිත් ඔහු ගැන කනස්සල්ලෙන් ඉඳියේ. මමත්, දිමුත් කරුණාරත්නත්, අනෙක් ඡේෂ්ඨ ක්‍රීඩකයින් එක්කත් කතා කරා පැතුම් නිස්සංකට උඩින් පන්දුවට පහ‍ර දෙන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනේ කියලා. ළහිරු තිරිමාන්න මෙම තරඟාවලිය ක්‍රීඩා නොකිරීමත් සමඟ පැතුම් නිස්සංකට ලැබුණ අවස්ථාව හොඳින්ම ප්‍රයෝජනය ලබගත්තා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *