ඉන්දියා තරඟාවලියෙන් අනතුරුව මට විවේකයක් ගන්න කිව්වා – දසුන් ශානක
සැත්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය හා මෙම වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය අරමුණු කරගනිමින් පැවතී ආරාධිත විස්සයි විස්ස ලීග් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ දිනයේ (24) දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් (අළු) කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ ග්‍රේස් කණ්ඩායම නියමිත 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් වුණා. ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභයා වූ මිනෝද් බානුක පන්දු 51කදී හතරේ පහරවල් 12ක් සමඟින් වේගවත් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර, නුවනිදු ප්‍රනාන්දු පන්දු 36කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. ඉනිමේ අවසන් බාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කර නායක දසුන් ශානක පන්දු 17ක් පමණක් වැය කරමින් හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 48ක් ලබාගැනීමට සමත් වීම නිසා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 200 සීමාව පසුකර යෑමට හැකි වුණා.
පන්දු යැවීමේදී රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු දවා ගැනීමට හැකි වූයේ පන්දු යවන්නන් දෙදෙනෙකුට පමණයි. අකිල ධනංජය පන්දුවාර හතරකදී ලකුණු 24ක් පමණක් ලබා දී කඩුලු 2ක් ලබාගැනීමට සමත් වූ අතර අසේල ගුණරත්න පන්දුවාර 3කදී ලකුණු 35කට එක් කඩුල්ලක් ලබාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19.4 කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 159ක් පමණි. රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 27කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතර අසේල ගුණතිලක ලකුණු 22ක් ලබාගැනීමට සමත් වූ අතර නායක දිනේශ් චන්දිමාල් හට ලබාගැනීමට සමත් වූයේ ලකුණු 14ක් පමණි. ඉනිමේ අවසන් බාගයේදී අකිල ධනංජය පන්දු 13කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබාගැනීමට සමත් විය.
ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප්, මතීශ පතිරණ, පුලින තරංග කඩුලු 2 බැඟින් ලබාගත් අතර Ashian Daniel , Dasun shanaka හා Lahiru Madusanka එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ග්‍රේස් කණ්ඩායම ලකුණු 42ක විශිෂ්ට ජයක් ලබාගැනීමෙන් අනතරුව අවසන් තරඟයේ වීරයා සම්මානය ලකුණු 74ක් ලබාගත් මිනෝද් බානුක විසින් දිනාගත් අතර තරඟාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට දසුන් ශානක සමත් විය.
තරඟාවලිය පුරාවට පිත්තෙන් හොඳින් දස්කම් දැක්වූ, වර්ථමාන එක්දින හා විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානක තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අතර, ඉන්දියා තරඟාවලියෙන් අනතුරුව ඔහුට මෙම තරඟාවලියේ ආරම්භක තරඟ වලදී විවේකයක් ලබාගැනීමට පවසා ඇති නමුත්, ඔහුට එසේ විවේකයක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව හා ඔහුට නැවත ලකුණු අතරට පැමිණීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.
“ඉන්දියාවට එරෙහිව පැවතී තරඟාවලියෙන් අනතුරුව මට මේ තරඟාවලියේ ආරම්භක තරඟවලින් විවේකයක් ලබාගන්න කිව්වා. නමුත් මට මෙම තරඟාවලිය ක්‍රීඩා කරලා නැවතත් ලකුණු අතරට පැමිණීමට අවශ්‍ය වුණා. ඒ නිසා මම විවේකයක් නොලබාම අභියෝගයක් ලෙස බාරගෙන ආරම්භයේ සිටම තරඟාවලිය ක්‍රීඩා කළා. මෙවැනි තරඟාවලි පැවැත්වීම මඟින් අපිට අලුත් ක්‍රීඩකයින් අඳුන ගැනීමට අවස්ථාව ලැබෙනවා. විදුලි ආලෝකය මැද්දේ, රූපවාහිනීයේ විකාශනයන වන මෙවැනි තරඟාවලි, අලුත් ක්‍රීඩකයින්ට ඉස්සරහට යන්න ගොඩාක් උදව් වෙනවා” – දසුන් ශානක.
ඊට අමතරව තරඟාවලියේ වීරයා සම්මානය වෙනුවෙන් ඔහුට ලැබුණු ත්‍යාඟ මුදල හා තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතරුව කණ්ඩායමට ලැබුණු මුදලින් කොටසක්, මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා අලුතින් ඉදිවන කලුබෝවිල රෝහලේ ෆික්ස් වෙන්ටිලේටර් යුනිට් එක සඳහා පරිත්‍යාගය කරන බවද අවසානයේ ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවා.