එංගලන්තය කණ්ඩායම කිසිවිටක අවතක්සේරු කරන්න බැහැ – කුසල් ජනිත් පෙරේරා

එංගලන්තය කණ්ඩායම සමඟ මෙම මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරඟ 3ක් හා එක්දින තරඟ 3කින් යුත් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (8) රාත්‍රියේදී දිවයිනෙන් පිටත් වුණා.

එක්දින හා විස්සයි විස්ස තරඟ වල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ලැබුණු අතර නවක ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයට ඇතුළත් වුණා.


ඊයේ දිනයේ දිවයිනෙන් පිටත් වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් ජනිත් පෙරේරා කියා සිටියේ එංගලන්තය කණ්ඩායම ගොඩාක් හොඳ කණ්ඩායමක් බවත් කිසිවිටක ඔවුන්ව අවතක්සේරු කිරීමට නොහැකි බවයි.

“බංගලාදේශ සංචාරයෙන් පස්සේ තමා අපි එංගලන්ත සංචාරය සඳහා යන්නේ. බංගලාදේශයේදී අපේ පොසිටිව් දේවල් ගොඩක් තිබුණා. බංගලාදේශ සංචාරයෙන් පස්සේ අපිට විවේකයක් ලැබුණා. ඒකෙදි අපි හොඳින් පුහුණුවීම් කරන්න පුලුවන් වුණා. එංගලන්තයට ගියාට පස්සෙත් අපිට ඒ වගේම කාලයක් හම්බෙනවා. ක්‍රීඩකයින් හොඳ සූදානමකින් ඉන්නවා. අපිට තරුණ ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක් ඉන්නේ. නමුත් හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. ගොඩාක් හොඳට තරඟාවලියට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.”


“මේ අවස්ථාවේ එංගලන්තය ගොඩක් උඩ රෑන්ක්‍ එකක ඉන්නේ. අපි කවදාවත් අවතක්සේරු කරන්නේ නැහැ එයාලට ගොඩක් හොඳ ඡේෂ්ඨ ක්‍රීඩකයින් ඉන්නවා. ඉතින් අපි බලන්නේ ඔවුන්ට අභියෝගයක් වෙන විදියට තරඟාවලිය සෙල්ලම් කරන්න.” – නායක කුසල් ජනිත් පෙරේරා

මේ අතර නවකයෙක් ලෙස කණ්ඩායම සමඟ එක්වීමට ලැබුණු චරිත් අසලංක අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩකයකුගේ එකම බලාපොරොත්තුව ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම බවත් එහිදී තමන් උපරිමයෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ක්‍රීඩකයෙක්ගේ එකම බලාපොරොත්තුව ජාතික කණ්ඩායමට එකතු වෙන එක. මම පලවෙනි වතාවට තමයි සංචාරයකට එකතු වන්නේ. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා. මම හිතන්නේ ඩොමෙස්ටික් සීසන් එකේ හොඳට සෙල්ලම් කරපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. – චරිත් අසලංක


පසු ගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී හොඳින් දස්කම් අතරට පැමිණී දනංජය ලක්ශාන් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,

“ක්ලබ් ක්‍රිකට් ගහන ක්‍රීඩකයින් අතර බොහොම පොඩි පිරිසකට තමයි ජාතික කණ්ඩායමට එකතු වෙන්න ලැබෙන්නේ. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා. ඒ අත්දැකීම් නිසා ක්ලබ් සීසන් එකේදී හොඳින් දස්කම් අතරට එන්න පුලුවන් වුණා. මට මේ ලැබුණ අවස්ථාවෙන් මගේ උපරිමය කණ්ඩායමට වෙනුවෙන් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. – දනංජය ලක්ශාන්


ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *