එදා අවසන් පන්දුවාරය ලසිත් මාලිංග යව්වානම් තරඟය වෙනස් වෙන්න තිබුණා – චමින්ද වාස්
ශ්‍රී ලංකාවේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්, අද දින (1) හිරු FM රේඩියෝ නාළිකාව සමඟ එක්වෙමින්, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟයේදී සිදුවූ දේවල් ගැන ඔහුගේ අදහස් ප්‍රකාශ කර සිටියා.
දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයේ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීම ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
“ක්‍රීඩාවේ හැටි ඔහොම තමයි. දකුණු අප්‍රිකාව එරෙහිව අපේ කණ්ඩායම හොඳ තරඟයක් ලබා දුන්නා. තවම අපේ කණ්ඩායම අත්දැකීම් අඩු කණ්ඩායමක්. දකුණු අප්‍රිකා තරඟය අපිට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණු තරඟයක්. අවසන් මොහොතේ පරාජය වීමට සිදුවුණ එක ගැන ඉතාමත් දුකයි. මම හිතනවා අපේ ක්‍රීඩකයින් මේ වුණ දේවල් වලින් ඉස්සරහට හොඳ දේවල් ඉගෙන ගනීවි.”
එදා තරඟයේදී අවසන් පන්දුවාරය යැවීමට සිටි හොඳම පන්දු යවන්නා, ලහිරු කුමාර බව ද චමින්ද වාස් ප්‍රකාශ කර සිටියා.
“ලහිරු කුමාර තමයි එදා තරඟයේදී අවසාන පන්දුවාරය යවන්න ඉතුරුවෙලා හිටිය හොඳම පන්දු යවන්නා. පසුගිය තරඟ වලදී ඔහු හොඳින්ම පන්දු යවලා තිබුණා. ලහිරු කුමාර බැලුවේ ඩේවිඩ් මිලර්ට යෝකර් පන්දු යවන්න. නමුත් අවාසනාවන්ත විදිහට ඔහුට ඒක කරගන්න බැරි වුණා. ඩේවිඩ් මිලර් කියන්නෙත් ලෝකයේ ඉන්න තවත් හොඳම තරඟ දිනවන්නෙක්.”
චමින්ද වාස් ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හොඳින් දස්කම් දක්වන අතර, මේ සම්බන්ධයෙන් තමාගේ ගෝලයින් ගැන තමන් ඉතාමත් සතුටු වන බව ඔහු සඳහන් කර සිටියා.
“අපේ පන්දු යවන්නන් දැන් පන්දු යවන විදිහ දැකලා මම ගොඩක් සතුටින් ඉන්නේ. විස්සයි විස්ස තරඟ කියන්නේ පන්දු යවන්නන්ට ලේසි පහසු තරඟයක් නෙමේ. නමුත් අපේ පන්දු යවන්නන් පන්දු යවන ආකාරය ඉතාමත් හොඳයි. ඔහුන් මහන්සි වෙලා කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වෙනවා. දුශ්මන්ත , ලහිරු කුමාර , චාමික තවමත් තරුණ ක්‍රීඩකයින්. ඔවුන්ට ක්‍රීඩා කරන්න තව අවුරුදු ගණනක් තියනවා. ඔවුන් මේ ලබන අද්දැකීම් වලින් ඉදිරියේදී හොඳින්ම ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”
එදා තරඟයේදී චමින්ද වාස් ක්‍රීඩා කළේනම් එම අවසන් පන්දුවාරය හොඳින් ක්‍රියාත්මක කිරීමට හැකි ද? යන්න හිරු FM විසින් අසන ලද ප්‍රශ්නයට වාස් පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්,
“ලහිරු කුමාර අත්දැකීම් අඩු ක්‍රීඩකයෙක්. ගොඩක් වෙලාවට මම හරි වෙන පන්දු යවන්නෙක් හරි ඒ පන්දුවාරය යව්වනම් ගොඩක් වෙලාවට තරඟයේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. ලසිත් මාලිංග ඒ ඕවර් එක දැම්මනම් ඔහු ඔය පන්දුවාරය ලකුණු 4කට 5කට විතර දාවි. ඒ ඔහුගේ තියන අද්දැකීම නිසා. ඒක ඉතින් පන්දු යවන්නගෙන් පන්දු යවන්නාට වෙනස් වෙනවා. ඒ වෙලාවේ ගන්න තීරණය අනුව තමයි හැමදේම වෙනස් වෙන්නේ.”
“අපිට මේ තරඟාවලියේ ඉදිරියට යන්නනම් අනිවාර්යයෙන්ම එංගලන්තයට එරෙහි තරඟයත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරඟයත් ජයග්‍රහණය කරන්න ඕනේ. මම හිතනවා කොල්ලෝ ටික වුණ දේවල් අඩුපාඩු හදාගෙන මේ තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරයි කියලා හිතනවා.”