ඒ කාලේ සෝශල් මීඩියා තිබුණානම් ඒ ක්‍රීඩකයින්ට එච්චර කාලයක් ක්‍රීඩා කරන්න ලැබෙන්නෑ – දසුන්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව තරඟ 5කින් යුත් එක්දින තරඟාවලිය ජුනි 14 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 

 

තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද (13) දින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තරඟාවලිය පිලිඹඳ අදහස් දක්වා සිටියා.

එහිදී ප්‍රථම වශයෙන් දසුන් ශානක පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවතී පසුගිය තරඟාවලි දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, මෙම තරඟාවලිය ද ජයගැනීමට හොඳ මානසික මට්ටමක සිටින බවයි.

 

 

“ලංකාවේ පැවති පසුගිය එක්දින තරඟාවලි දෙක ගත්තාම අපි ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කරපු විදිහටම මෙම තරඟයේදීත් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කණ්ඩායමක් විදිහට අපි හොඳින් සූදානම් වුණා. අවසන් විස්සයි විස්ස තරඟයත් ජයගගෙන නිසා මානසික මට්ටමත් හොඳින් තිබෙනවා.”

 

 

“ගොඩාක් වෙලාවට පිතිකරුන්ගේ දක්ශතාවය මත තමයි තරඟාවලියේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ගොඩක් වෙලාවට මම හිතනවා අපේ පිතිකරුවන් මේ තරඟාවලිය පුරාවට හොඳින් ක්‍රීඩා කරයි කියලා.”

 

විස්සයි විස්ස තරඟාවලිය පුරාවට කුසල් මෙන්ඩිස් කඩුලු රැකීමේ කාර්යය සිදුකල අතර, එක්දින සංචිතයට නිරෝශන් දික්වැල්ල හා දිනේශ් චන්දිමාල් ද එකතු වී සිටින නමුත්, දිගටම කුසල් මෙන්ඩිස් කඩුලු රැකීමේ කාර්යය සිදුකරන බව දසුන් ශානක පවසා සිටියා.

 

 

“ක්‍රීඩා කරන කණ්ඩායම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් තේරීම් කමිටුව බලාපොරොත්තු වෙන්නේ කුසල් මෙන්ඩිස්ව දිගටම කඩුලු රකින්නෙක් විදිහට අරගෙන යන්න.”

මෙම වසරේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ජයගත් තරඟ දෙකම හඹාගොස් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ජයගැනීමට වැඩි ඉඩක් ඇත්තේ හඹාගොස් ජයගැනීම ද යන්න මාධ්‍යවේදියෙකුගෙන් නැගුනු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදුන්නේ මෙලෙසින්,

 

 

“ඒක ක්‍රීඩා කරන ෆෝමැට් එක අනුව තීරණය වෙන්නේ. එක්දින හා විස්සයි විස්ස කියන්නේ ගොඩක්ම වෙනස් තරඟ දෙකක්. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ මේ වෙන විට තියෙන්නේ දඟකැවෙන තණතීරුවක්.. මුලින් පන්දුවට පහරදෙනවද, හඹාගොස් ජයගන්නවා ද කියන එක ඒ ඒ වෙලාවට තමයි තීරණය කරන්න පුලුවන්.”

ඊට අමතරව ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්ව සිටින යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙම තරඟයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව ද දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

 

 

“තණතිල්ලත් දඟපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු වලදී නිසා දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක්ගෙන් යුක්තව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දුනොත් වෙල්ලාලගේට හොඳ අවස්ථාවක් තියනවා තරඟය ක්‍රීඩා කරන්න.”

විස්සයි විස්ස තරඟාවලිය පුරාවට පිතිකරුවන් අසාර්ථක වූ අතර, එක්දින තරඟාවලියට යන විට පිතිකරුවන්ගේ වගකීම හා කණ්ඩායමේ කම්බිනෙශන් එක සම්බන්ධව දසුන් ශානක ප්‍රකාශ කරන ලද්දේ මෙවැන්නක්,

 

 

“කණ්ඩායමක් විදිහට එක්දින තරඟයකදී පිතිකරුවන් දෙදෙනෙක් ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගන්නවානම් , තරඟය ජයගන්න පහසු වෙනවා. විස්සයි විස්ස තරඟයේදී ක්‍රීඩා කළ ඉනිම හේතුවෙන් අපිට ලොකු විශ්වාසයක් තියනවා, ඒක තරඟයේදි ක්‍රියාත්මක කරගන්න ඕනේ.”

“අපි ක්‍රීඩා කරන්නේ විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කළ තණතීරුවේමයි. කණ්ඩායමේ ලොකු වෙනස්කම් වෙන්නෑ. කම්බිනෙශන් එක ගත්තොත් පිතිකරුවන් හයදෙනෙක්, තුන්ඉරියව් ක්‍රීඩකයින් 2දෙදෙක් හා පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කරනවා.”

 

 

පසුගිය තරඟාවලි දෙකම ජයගනු ලැබූවත්, ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි තවමත් 8 වන ස්ථානයේ සිටින බැවින් ඒ සම්බන්ධව දසුන් ශානක පැවසූයේ එයට හේතුව තමාගෙ පමණක් නොවන බවයි.

“රෑන්කින් ගත්තොත් ඒක අවුරුදු ගාණක් තිස්සේ ක්‍රීඩා කළ තරඟ අනුව තමයි තීරණය වෙන්නේ. ඒක කන්ට්‍රෝල් එක තියෙන්නේ අපි ඉදිරියට ක්‍රීඩා කරන තරඟ අනුව. අපි රෑන්කින් වල පහළ සිටින එකට මම විතරක් නෙමේ හැමෝටම ඒකෙ වගකීමක් තියනවා. විශේෂයෙන්ම නායකයෙක් විදිහට මම ඉදිරියට පැවැත්වෙන තරඟ ජයග්‍රහණය කරලා රෑන්කින් වල ඉහළට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.”

 

 

නිමාවූ විස්සයි විස්ස තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර එම ඉනිම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වන බවද පවසා සිටියා.

“ඒ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබුණු එකට මට ගොඩාක් සතුටුයි. අපි දන්නවා ඒ වගේ ඉනිම් ගොඩක්ම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මගේ ප්ලෑන් එක උනේ එක ඕවරයට බවුන්රි තුන ගානේ ගහන්න. චාමික එක්ක එකතුවෙලා මට ඒක කරන්න පුලුවන් වුණා. ඒක මට වගේම මුලු රටටම ගොඩාක් වටින ජයග්‍රහණයක්.”

 

 

මාධ්‍ය සාකච්ඡාවේ දී දිගින් දිගටම විස්සයි විස්ස තරඟාවලියේ දී පිතිකරුවන්ගේ දුර්වලතාවය ගැන මාධ්‍යවේදීන් විසින් දසුන් ශානකට ප්‍රශ්න යොමුකළ අතර ඔහු අවසන් වශයෙන් දීර්ඝ ප්‍රකාශයක් සිදුකරමින් පැවසූවේ මෙවන්නක්,

“මම දන්නේ නැහැ දිගින් දිගටම මේක ප්‍රශ්න කරන්නේ ඇයි කියලා. තරඟයෙන් දෙකෙන් ක්‍රීඩකයෙක්ව තරඟ දිනවන්නෙක් ද කියලා තීරණය කරන්න බැහැ. කාලයක් එක්ක තමා ක්‍රීඩකයින් අත්දැකීම් ලබාගන්නේ. අපි බලන්න ඕනේ අපේ රටේ කන්ඩිශන් එක කොහොමද කියලා. අපිට ඉන්දියාව වගේ ඕස්ට්‍රේලියාව වගේ විකට් හම්බෙන්නෙ නැහැ. පිතිකරුවන්ගෙන් ලබාදෙන ටෝටල් එක පන්දු යවන්නන් විසින් ආරක්ෂා කරගෙන පන්දු යවන එක තමයි වැදගත්ම දේ”

 

 

“අපේ ක්‍රීඩකයින්ගේ වයස ගත්තොත් ඉතාමත් අඩුවයසේ ක්‍රීඩකයින් සිටින්නේ. අද තියන සෝශල් මීඩියා පවර්පුල් නිසා තමයි එක එක ක්‍රීඩකයින් ගහන්නෙ නැහැ කියලා කතා වෙන්නේ. අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් මෙච්චර සෝශල් මීඩියා පවර් එකක් තිබුණේ නැහැ. ඒ කාලෙත් මේ වගේ සෝශල් මීඩියා තිබුණනම් මම හිතන්නෑ ඒ ක්‍රීඩකයින්ටත් ඒ විදිහට කාලයක් ක්‍රීඩා කරන්න ලැබේවි කියලා.”

 

 

“කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හැමෝගෙම සහය අවශ්‍යයි. ඒ විශ්වාසය ක්‍රීඩකයින්ට ලබාදෙන එක තමයි වැදගත්, ඒකට නායකයෙක් විදිහට මටත්, මීඩියා විදිහට ඔයාලටත් කණ්ඩායමක් ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන එක ගැන ලොකු වගකීමක් තියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *