කවුරුහරි හිතාහෙන ඉන්නවනම් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඔහු නිසා කියලා ඒක ලොකු විහිලුවක්.
ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල්, අපේ ලෝකය නම් යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙම්න් ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන බොහෝ දේවල් සාකච්ඡාවට ලක් කළ අතර, 2014 ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් කළ කැපකිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.
2013 වර්ෂයේදි තේරීම් කමුටු සභාපති සනත් ජයසූරිය විසින් දිනේශ් චන්දිමාල් හට හට විස්සයි විස්ස නායකත්වය ලබා දීමෙන් අනතුරුව ඔහු 2014 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම අරමුණු කරගනිමින්, සැලසුම් ක්‍රියාත්මක කරමින්, තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින්, හොඳ කණ්ඩායමක් නිර්මාණය කර 2014 ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ නමුත්, අවසානයේදි ලෝක කුසලානය එක් පුද්ගලයෙක් මඟින් ජයග්‍රහණය කිරීමට සමත් වූවා කියා සිතාගෙන සිටිනවානම් එය සම්පූර්ණ වැරැද්දක් බව දිනේශ් චන්දිමාල් විසින් ප්‍රකාශ අර සිටියා.
2013 තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහත්මයා මට කතා කරලා කිව්වා 2014 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනකන් විස්සයි විස්ස නායකත්වය මට ලබා දෙනවා කියලා. මට ඒක ලොකු ආත්මශක්තියක් වුණා. ඒ වෙලාවේ මට හොඳ ඡේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුත් හිටියා. මම නායකත්වය බාරගත්තට පස්සේ මගේ ප්‍රධාන අරමුණ වුණේ 2014 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න.
මම ඒ දවස්වල ක්‍රීඩා සමාජ වල, පළාත් තරඟ වල ආරම්භක පිතිකරු විදිහට ක්‍රීඩා කළේ. නමුත් මට වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් ආරම්භක පිතිකරුවෙක් විදියට අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අපි තේරීම් කමිටුව එක්ක කතා කරලා කුසල් ජනිත්ව කණ්ඩායමට එකතුකරගත්තේ.. මම, මගේ ගැන විතරක් හිතුවනම් මම කවදාවත් කුසල් ජනිත්ව කණ්ඩායමට ගේන්නේ නැතුව මමම ආරම්භක පිතිකරු විදියට සෙල්ලම් කරන්න තිබුණා. මම කවදාවත් ඒ වගේ තීරණ ගත්තේ නැහැ. අපි ඒ අවුරුද්දේ ක්‍රීඩා කරන කොට කණ්ඩායමේ සිටිය ඡේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනාගෙන් දෙදෙනෙක් විතරක් ක්‍රීඩා කරවලා, ළහිරු තිරිමාන්න, කුසල් ජනිත් සචිත්‍ර සේනානායක වගේ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දුන්නා.
2014 ලෝක කුසලානයේදී එංගලන්තය එක්ක තිබුණ තරඟයේදී නියමිත කාලයට පෙර පන්දු යැවීමට නොහැකි වීම නිසා, මට ඊලඟ තරඟයේදී ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. අපි නවසීලන්ත කණ්ඩායම එක්ක ක්‍රීඩා කළ එම තරඟයේ මම වෙනුවට ක්‍රීඩා කළේ ළහිරු තිරිමාන්න. ඔහු තමයි එම තරඟයේ වැඩිම ලකුණු ලබාගත්තේ.. අපිට ඊට පස්සේ තිබුණේ සෙමි ෆයිනල් එකයි , ෆයිනල් එකයි විතරයි. මම කල්පනා කරා මම ආයෙමත් කණ්ඩායමට ආවොත් එලියට යන්න වෙන්නේ ෆෝම් එකේ ඉන්න ලහිරු තිරිමාන්නට. ඒ වෙලාවේ තේරීම් කමිටුවත් මම සමඟ ඇවිත් කතා කළා. මට 2013 නායකත්වය ලබාදෙන කොට, මගේ අරමුණේ වුණේ 2014 ලෝක කුසලානය දිනන්න. ඉතින් ඒ වෙලාවේ මම ඒ දේ කරන්නේ කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් කියලා හිතලා, මම එලියෙන් ඉදලා ලහිරු තිරිමාන්නට අවස්ථාව ලබා දුන්නා.
ඒ විදියට 2013 ඉදලා සැළසුමකට ක්‍රීඩා කරලා අන්තිමට අපි 2014 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හැබැයි කවුරු හරි හිතාගෙන ඉන්නවනම් ඔහු නිසා තමයි මේ ලෝක කුසලානය ජයග්‍රහණය කළේ කියලා, ඒක සම්පූර්ණ විහිලුවක්. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන , තේරීම් කමිටුව, අපේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් , අනෙකුත් ක්‍රීඩකයින්, මාධ්‍ය, ප්‍රේක්ෂකයන් , ඒ සියලුම දෙනාගේ එකමුතුවෙන්, කැපකිරීමකින් තමයි මේ ජයග්‍රහණය ලබාගත්තේ. ඉතින් කවුරු හරි හිතනවනම් ඔහු නිසා තමයි මේ ජයග්‍රහණය ලබාගත්තේ කියලා ඒක ලොකු වැරැද්දක්. – දිනේශ් චන්දිමාල්
මේ අතර දිනේශ් චන්දිමාල්ගේ ආරම්භක කාළයේදි වේගවත් පිතිකරුවෙක් ලෙස පන්දුවට පහර දුන් නමුත්, කාලයකට පසුව ඔහු ඉතාමත් මන්දගාමීව ලෙස එක්දින හා විස්සයි විස්ස පිටියේ ලකුණු රැස් කිරීම හේතුවෙන් කණ්ඩායමේ ද අවස්ථාව අහිමි වූ අතර, මෙලෙසින් ඔහුගේ පිතිකරණ රටාව වෙනස්වීමට හේතුව ඔහු පහැදිලි කල අතර, අවසානයේදි එම වැරැද්ද නිවැරදි කරගෙන ඇති බවටද ඔහු සඳහන් කර සිටියා.
2011දී එංගලන්තය එක්ක ටෙස්ට් තරඟ තුනක් තිබුණා. ඊට කලිනුත් තුන්දින තරඟ 3ක් තිබුණා. මේ තරඟ තුනේදිම ඉනිම් 6ම මම ස්ල්ප් එකේ පන්දු රකින්නා අතට උඩපන්දු ලබා දීලා දැවී ගියා. ඒ වෙලාවේ මට ලොකු ප්‍රශ්නයක් තිබුණා කොහොමද මම එහෙම දැවි යන්නේ කියලා. ඒ දවස්වල අපේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හිටියේ මාවන් අතපත්තු මහත්තයා. මම එතුමා එක්ක වැඩ කරලා මම පිත්ත අල්ලන විදිහේ පොඩි ප්‍රශ්නයක් තිබිලා එක්ක වෙනස් කරගත්තා. ඊට පස්සේ එක්දින හා විස්සයි විස්ස තරඟ රටා වලදිත් මම ඒ විදියට පිත්ත අල්ලගෙන තමයි පිතිකරණයේ යෙදුනේ. මට ඒක තේරුම් ගන්න ටික කාලයක් ගියා. ඒ නිසා තමයි මට මුල් කාලයේ වගේ වේගයෙන් පන්දුවට පහරදෙන්න බැරි වුණේ. නමුත් මම ඒකේ සම්පූර්ණ වගකීම බාරගන්නවා. ඒ කාලයේ මම ගොඩාක් පොඩියි. ඒ වෙනස්කම කරද්දි මටත් වැඩිය අත්දැකීමක් නැහැ. නමුත් දැන් මට ඒක තේරෙනවා. මම ඒ වැරැද්ද හදාගෙන තියනවා. මම හිතනවා දැන් ආයෙමත් පරණ චන්දි ඇවිල්ල තියනවා කියලා.