කසුන් රාජිතගෙන් වාර්තාගත සුපිරි පන්දු යැවීමක්. (VIDEO)

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 LPL තරඟාවලියේ 14 වන තරඟය ලෙස පැවතී දඹුල්ල අවුරා කණ්ඩායම හා කලම්බො ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තාකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත්වුණා..

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දුවාර 13.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 89ක් පමණයි.

දඹුල්ල අවුරා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රමෝද් මධුශාන් පන්දු 26කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව නායක දසුන් ශානක පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් හා Jordan Cox පන්දු 9කදී ලකුණු 16ක් ලබාගත් අතර, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. භානුක රාජපක්ෂ හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ අතර, ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2ක් හා සුරංග ලක්මාල් , Karim Janat එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

කසුන් රාජිත මෙම විශිෂ්ඨ පන්දු යැවීම මෙවර තරඟාවලියේ මෙතෙක් හොඳම පන්දු යැවීම වන අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ තුන්වෙනියට හොඳම පන්දු යැවීමයි..

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ ඉනිමක සුපිරි පන්දු යැවීම් වාර්තාකර ඇති පන්දු යවන්නන්,

1) ජෙෆ්රි වැන්ඩසේ – ලකුණු 25ට කඩුලු 6ක් (2021 වර්ෂයේදී) කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව.

2) නුවන් තුශාර – ලකුණු 13ට කඩුලු 5ක් (2021 වර්ෂයේදී) ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එරෙහිව.

3) කසුන් රාජිත – ලකුණු 22ට කඩුලු 5ක් (2022 වර්ෂයේදී) දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව.

4) මොහොමඩ් අමීර් – ලකුණු 26ට කඩුලු 5ක් (2020 වර්ෂයේදී) කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට එරෙහිව.

අනතුරුව ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 11.3ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 90ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය.

කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් අර්ධ ශතකයක් ලබාගැනීමට චරිත් අසලංක සමත්වූ අතර ඔහු පන්දු 36කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව දිනේශ් චන්දිමාල් පන්දු 32කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල හට අද දිනයේ ලකුණු ලබාගැනීමට හැකිවුණේ නැහැ.

කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ බිඳ වැටුනු එකම කඩුල්ල ලබාගැනීමට හැකිවූයේ ප්‍රමෝද් මදුශාන් වේ. (ඕවර් 2 – ලකුණු 3 – කඩුලු 1)

ඒ අනුව, දඹුල්ල අවුරා කණ්ඩායමට මෙවර තරඟාවලියේ 5 වන පරාජයත් උරුම කර දෙමින් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් වාර්තාකර අතර මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 22ට කඩුලු 5ක් දවාගත් කසුන් රාජිත වේ.

කසුන් රාජිතගේ විශිෂ්ඨ පන්දු යැවීම හා චරිත් අසලංකගේ අර්ධ ශතකය (වීඩියෝ) 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *