ග්‍රීන් කණ්ඩායම පරදා, බ්ලූ (SL Blues) කණ්ඩායමට ලකුණු 32ක ජයක්.
(ජෙෆ්රි වැන්ඩසේ ලබාගත් කඩුලු 3 වීඩියෝ එක පහළින් නැරඹිය හැක) SLC Invitational T20 League 2022 තරඟාවලියේ දෙවන තරඟය ලෙස ඊයේ (8) පැවතී තරඟයෙන් ග්‍රීන් (Green) කණ්ඩායම පරදා, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූ (Blue) කණ්ඩායම ලකුණු 32ක ජයක් ලබාගැනීමට සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමි පලමුව පන්දුවට පහරදීමට බ්ලූ කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබාගැනීමට සමත්වුණා.
බ්ලූ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බණ්ඩාර පන්දු 34ක් අවසානයේදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, නායක චරිත් අසලංක පන්දු 14කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගත් අතර, දනංජය ද සිල්වා පන්දු 10කදී ලකුණු 14ක්, කසුන් රාජිත පන්දු 25කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී, ජෙෆ්රි වැන්ඩසේ සුපිරි පන්දු යැවීමක නිතර වූ අතර, ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 12කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව බිනුර ප්‍රනාන්දු , නුවන් තුශාර , රමේෂ් මෙන්ඩිස් , ලක්ශාන් සඳකැන් හා දනංජය ලක්ශාන් ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 123ක පහසු ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී ග්‍රීන් (Green) කණ්ඩායම හට පන්දුවාර 18.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි.
ග්‍රීන් කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක පන්දු 39කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 26කදී ලකුණු 16ක් ද, දිනේශ් චන්දිමාල් පන්දු 11කදී ලකුණු 11ක් ලබාගත් නමුත් අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට හැකිනොවීය. නිරෝශන් දික්වැල්ල ලකුණු ලබාගැනීමට පෙර දැවීගියා.
පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 16කට කඩුලු 2ක්, ඩිල්ශාන් මදුශන්ක ලකුණු 22කට කඩුලු 2ක් හා සුමින්ද ලක්ශාන් ලකුණු 22කට කඩුලු 2ක් දවාගත් අතර, දනංජය ද සිල්වා , කසුන් රාජිත , චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබූවා.
ඒ අනුව, තරඟාවලියෙ දෙවන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් ග්‍රීන් කණ්ඩායම පරදා ලකුණු 32ක ජයක් ලබාගැනීමට බ්ලූ කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දැමූ ඩිල්ශාන් මදුශන්ක වේ.
ජෙෆ්රි වැන්ඩසේ ලබාගත් කඩුලු 3 වීඩියෝව,
— cric fun (@cric12222) August 8, 2022