ජාත්‍යන්තර පිටියෙන් දැන්ම සමුගැනීමට අදහසක් නැහැ – ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟය අද (24) ආරම්භ වීමට නියමිත වන අතර, තරඟයට පෙර 100 වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ තම අදහස් හා කණ්ඩායමේ අදහස් දක්වා සිටියා.
එහිදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් 100 වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස්ගෙ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ , තමන් කැමතිම ඉනිම ලෙස ඔහු එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 160 බව ප්‍රකාශ කර සිටියා..
“එංගලන්තයේදී මට ලකුණු 160ක් ලබාගෙන අපිට ඒ තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවුණා. ඒක මට, මම ක්‍රීඩා කරපු හොඳම තරඟයක් හා ශ්‍රී ලංකාව කණ්ඩායමක් වශයෙන් හොඳටම ක්‍රීඩා කරපු තරඟාවලියක්.”
මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් එක්දින හා විස්සයි විස්ස තරඟ ක්‍රීඩා නොකරන අතර, ඔහු ටෙස්ට් තරඟය සඳහා පමනක් තේරීම් කටයුතු වන බැවින් ඇන්ජලෝ මැතිව්ස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් කැමති ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට බවයි.
“ක්‍රීඩකයෙක් විදිහට මගේ නොම්බර 1 ටෙස්ට් තරඟ. මොකද, ටෙස්ට් තරඟයක් කියන්නේ අපි හැමෝම දන්නවා ක්‍රීඩා කරන්න ලේසි තරගයක් නෙමේ. දවස් 5ක් මානසික, ශාරිරික උපරිමව වෙහෙස වෙනවා. විදෙස් ක්‍රීඩකයින් පවා කියන්නේ ටෙස්ට් ක්‍රිකට් තමයි හොඳම ක්‍රිකට් කියලා.”
“අපි වඩාත් කැමති අපිට තව ටෙස්ට් තරඟ ලැබෙනවානම්. මොකද ඊලඟ මාස 18ටම ගත්තොත් අපිට තරඟ තියෙන්නේ 7ක් වගේ. මේ දවස්වල අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තව ටෙස්ට් තරඟ කිහිපයක් දාගනීවි කියලා.”
ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා බවට පත්වීමට නියමිත අතර මෙම කාලයේදී තමන්ට උදව් කළ සියලුම දෙනාට ස්තූතිය පල කර සිටියේ මෙලෙසින්,
“මට ටෙස්ට් තරඟ 100ක් සෙල්ලම් කිරීමට ලැබීම ගැන පලමුවෙන්ම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මගේ තිබුණ ආබාධ එක්ක අන්තිමට අවුරුදු 6, 7 කාලයේදී මට ටෙස්ට් තරඟ 20ක් 30ක් පමණ මඟහැරුණා. මට ලේසියෙන්ම ටෙස්ට් තරඟ වලින් ඉවත්වෙලා එක්දින හා විස්සයි විස්ස ක්‍රිඩා කරන්න තිබුණා. නමුත් මම කලින් කිව්වා වගේ ටෙස්ට් ක්‍රිකට් තමයි මගේ නොම්බර 1 වෙන්නේ. ”
“මගේ පවුලේ අම්මා තාත්තා ඇතුලේ හැමෝම, මගේ පාසල , මගේ ගුරුවරුන් , පාසලේ විදුහල්පති, පුහුණුකරුවන් තව මගේ යාළුවන් ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. තවද, අපිට තරඟ අතරතුරේදී ප්‍රේක්ෂකයන් ලබාදෙන සහයෝග හේතුවෙන් මම ප්‍රේක්ෂකයින්‍ටද ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.”
ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩා නොකරන බැවින්, වයස අවුරුදු 31ක් වන Ben Stokes එක්දින පිටියෙන් සමුගැනීම ද මතක් කර දෙමින් මාධ්‍ය වේදියෙකුගෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් වල සමුගැනීම ගැන නැගූ ප්‍රශ්නයකට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේ තමන් අනුගමනය කරන්නේ ජේමිස් ඇන්ඩ්‍රසන් ව බවයි..
“මම අනුගමනය කරන්නේ එංගලන්ත ක්‍රීඩක ජේමිස් ඇන්ඩ්‍රසන්ව. ඔහුට දැන් වයස 40ක් වෙනවා..නමුත් ඔහු තවමත් වේගපන්දු යවන්නෙක් විදිහට ලොව රජ කරනවා. මම හිතනවා පිතිකරුවෙක් විදිහට මගේ දක්ශතාවය සහ ශාරීරික යෝග්‍යතාවට අනුව තවත් වසර කිහිපයක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුලුවන් කියලා.
අවස්ථාවක් ලැබුණොත් එක්දින , විස්සයි විස්ස ඇතුලත්ව තරඟ රටා තුනේදීම මගේ උපරිමය දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට මට අදහසක් නැහැ.”
මේ අතර, ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ, ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම වටිනා තරඟයේදී ජයග්‍රහණයේ සතුට ලබාදීමට උපරිම උත්සහ කරන බවයි.
ඇන්ජලෝට වගේම අපි හැමෝටම ගොඩාක් වටින තරඟයක් මේක. අපි හැමවෙලාවෙම බලන්නේ තරඟ ජයග්‍රහණය කරන්න. ක්‍රීඩකයෙක් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කරනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙමේ. අපිට වුවමනාව තියෙන්නේ තරඟයක් ජයග්‍රහණය කරාම ලබන සතුට මෙම තරඟයේදී ඇන්ජලෝට ලබාදෙන්න. ඒ වෙනුවෙන් අපෙ ක්‍රීඩකයින් ගොඩාක්ම මහන්සි වෙනවා.
මේ අතර, දෙවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ගැන අදහස් දක්වමින් නායකයා ප්‍රකාශ කර සිටියේ මහීශ් තීක්ශනත් වෙනුවට දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනාගැනීමට නියමිත බවයි.
“කණ්ඩායමේ වෙනස්කමක් කිව්වොත් මහීශ් තීක්ශන වෙනුවට තරුණ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හෙට තරඟය ක්‍රීඩා කරනවා.. තවද, අසිත ප්‍රනාන්දු ද අවසන් 12 දෙනා අතර සිටිනවා. ඒක තමා අපේ කණ්ඩායමේ වෙනසක් තියෙන්නේ.”