ජැෆ්නා කණ්ඩායමේ පුහුණුකරු කණ්ඩම්බි, අවිශ්ක, වනිඳු, මහීශ්, කුසල් මෙන්ඩිස් ගැන දැක්වූ අදහස්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අදියර දෙක තුළදීම තරඟාවලිය ජයග්‍රහණය කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බි, ක්‍රීඩා මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද සමඟින් සාකච්ඡාවට එක්වෙමින්, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය හා, ඔහුගේ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

 

 

එහිදී, තරඟාවලියේදී තුන්වතාවක් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව අවසන් මහා තරඟයේදී ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට සමත් වීම ගැන ඔහු ප්‍රකාශ කළේ මෙවැන් අදහසක්,

“අපි පලවෙනි අදියර ජයග්‍රහණය කරමින් ජයග්‍රාහීව තමයි දෙවන එල්.පී.එල් තරඟාවලියට පැමිණියේ. තවත් එකක්, අපි පලවෙනි තරඟයම පරාජයට පත්වීමත් හේතුවක් වෙන්න ඇති තරඟාවලිය හොඳින් අවසන් කිරීමට හැකිවීම. අපිට තේරෙන්න ගත්තා ගියපාර වගේ නෙමේ මේ පාර හොඳ කණ්ඩායම් ඉන්නවා, ඒ නිසා අපි හොඳින් තරඟාවලියට සූදානම් වෙන්න ඕනේ කියලා. නමුත් දින කිහිපයක් ගත වුනාට පස්සේ මට තේරුණා තරඟාවලියේ අපිට අභියෝගයක් තියන එකම කණ්ඩායම ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම කියලා.”

 

 

“අපි අවසන් තරඟයට පැමිණෙන විට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට එරෙහිව තුන්වතාවක්ම පරාජයට පත්වෙලා තිබෙණේ. නමුත් මට විශ්වාසයක් තිබුණා අපි තරඟ තුනක්ම පරාජයට පත්වෙලා හතරවෙනි වතාවටත් පරාජය වෙන එකක් නැහැ කියලා. අපේ ක්‍රීඩකයින්ව මම හැමතිස්සෙම දිරිමත් කරගෙන තිබුණා. අපේ ක්‍රීඩකයින් හැමෝටම අවශ්‍ය වුණේ කොහොම හරි අපේ කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කරන්න.”

 

 

ලෝකයේ විස්සයි විස්ස අංක එකේ පන්දුවයන්න වන වනිඳු හසරංග තරඟාවලිය ආරම්භයේදී දස්කම් දැක්වීමට නොහැකි වූයේ, ඔහු එකදිගට මාස ගණනක් ක්‍රීඩා කරමින් වෙහෙසට පත්ව සිටි නිසා බව කණ්ඩම්බි පවසා සිටියා.

“වනිඳු හසරංග කියන්නේ අපිට ඉන්න වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්. එයා අපේ කණ්ඩායමේ ක්‍රීඩා කරන එක හැමතිස්සෙම අනිත් කණ්ඩායම් වලට පීඩනයක්. ඔහු ක්‍රීඩා කළ පලමු තරඟ දෙකේදී මට තේරුණ දෙයක් තමයි ඔහු එකදිගට මාස 4ක් පමණ බබ්ල් වල ඉදලා මානසික අපහසුතාවයක් තිබුණා. අපි ඔවුත් එක්ක කතා කරලා, කාමර වුනත් වෙන්කරන කොට ඔහුගේ කාමරය අසලට දැම්මේ, අවිශ්ක, චතුරංග, ශම්මු අශාන් ඔහුගේ හොඳම යාලුවෝ ටික. එහෙම කරලා තමයි එයාගේ පීඩනය එළියට ගත්තේ.”

 

 

“ඔහු කොච්චර මහන්සි වුණත් පිට්ටනිය මැදට ගියාම ඔහුගේ 100%ක්ම දෙන්න බලාගෙන ඉන්නේ. මම තරඟයක් විවේක ගන්වන කොටත් ඔහු ඒකට එච්චර කැමති වුණේ නැහැ. තරඟාවලියේ අවසන් තරඟ කිහිපයට එන කොට ඒ දේවල් වල සාර්ථකත්වය ලබාගැනීමට හැකිවුණා.”

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය හේතුවෙන්, හඳුනාගත් වටිනාම ක්‍රීඩකයෙක් වන මහීශ් තීක්ශණ, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එක්කර ගැනීමට තිසර පෙරේරා කටයුතු කළ බව ඔහු සඳහන් කළ සිටියා.

 

 

“මහීශ් තීක්ශණව කණ්ඩායමට ගෙන්නන්න ලොකුම බලපෑම කරේ තිසර පෙරේරා. ගියපාර LPL එකට කලින් එයාලගේ යුධ හමුදා ක්‍රීඩා සමාජය ඇතුලේ තිබුණ ක්‍රිකට් තරඟාවලියකදී මහීශ් හොඳින් පන්දු යැව්වා කියලා තිසර පෙරේරා හැමතිස්සෙම මට කිව්වා. ගියපාර LPL එකේදී මහීශ්ට වැඩි තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කරන්න නොලැබුනත්, මේ තරඟාවලියේදී ගොඩාක් හොඳින් පන්දු යවලා කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයෙක් බවට පත්වුණා”

 

 

LPL පලමු අදියරේ ජැෆ්නා කණ්ඩායමට ක්‍රීඩා කළ චරිත් අසලංකව කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කිරීමට හේතුව ලෙස පුහුණුකරු කණ්ඩම්බි පවසා සිටියේ, ආර්.ප්‍රේමදාස පිටිය දඟපන්දු යවන්නන්ට උචිත වන බැඟින් අකමැත්තෙන් වුවත් චරිත් අසලංකව කණ්ඩායමෙන් නිදහස් කර මහීශ් තීක්ශණව කණ්ඩායමේ රඳවාගැනීමට සිදුවූ බවයි.

 

 

“පලමු තරඟාවලියෙන් අනතුරුව අපිට ක්‍රීඩකයින් හතර දෙනෙක් අපේ කණ්ඩායමේම තියාගන්න අවස්ථාවක් ලැබුණා. එතනදී තිසර පෙරේරා, වනිඳු හසරංග හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් තිදෙනාව අපි කලින්ම තෝරගෙන තිබුණේ. ඊලඟට අපට තිබුණ ලොකුම ප්‍රශ්නේ අනෙක් ක්‍රීඩකයා විදිහට, චරිත් අසලංක ද, මහීශ් තීක්ශණ ද, දනන්ජය ද සිල්වා ද, තියාගන්නේ කියන එක. දනන්ජය පහුගිය කාලයේ ලකුණු අතර සිටියේ නැහැ. ඊලඟට අපි බැලුවේ තරඟාවලියේ මුල් තරඟ කිහිපය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තිබුණේ. එහෙ තණතිල්ල දඟපන්දු යවන්නන්ට උචිත තණතිල්ලක් නිසා අපි මහීශ් තීක්ශණව කණ්ඩායමේ තියගත්‍තා.”

 

 

ලෝක කුසලානය තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පුහුණුකරු උපදේශකවරයෙකු ලෙස එක්වූ මහේල ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොම්බර 4 ස්ථානයට රැගෙන ගිය නමුත්, නැවතත් ඔහු එම ස්ථානයේ අසාර්ථක වීම හේතුව නිසා තිළිණ කණ්ඩම්බි පවසා සිටියේ ඔහුට ආරම්භක පිතිකරු ස්ථානය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

“තිසරයි මමයි කතා වුණේ, අවිශ්ක ප්‍රනාන්දු දක්ශතා දක්වන්නේ ආරම්භ පිතිකරු ස්ථානයේ, ඒ නිසා ඔහුව ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරවමු කියලා. අපි ඔහුගෙන් ඇහුවාමත් ඔහු කිව්වා ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරන්න අවශ්‍යයි කියලා. නමුත් පලවෙනි තරඟ දෙකේදී ඔහු නොම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කරලා ලකුණු ලබාගැනීමට ලැබුණේ නැහැ. ඊට පස්සේ ඔහු ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරලා හොඳින්ම ලකුණු ලබාගැනීමට අවස්ථාව ලැබුණා. අන්තිමට ඔහු තරඟාවලියේ වීරයා සම්මානය ද දිනාගැනීමට සමත් වුණා.”

 

 

පහුගිය කාළය පුරාවටම තරඟ තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් නැවතත් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දක්ශතා අතරට පැමිණීමට සමත්වූ අතර, අවසන වශයෙන් කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් ජැෆ්නා කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ මෙවැන් අදහසක්.

“කුසල් මෙන්ඩිස් කියන්නේ ක්‍රීඩාව පැත්තෙන්, ටැලන්ට් එක පැත්‍තෙන් ගත්‍තොත් ලෝකයේ ඉන්න අතිදක්ශ පිතිකරුවෙක්. අපි ඔහුත් එක්ක කතා කරපු දෙයක් තමයි ඔහුගේ මනස නැවතත් තිබුණ තැනට ගන්නේ කොහොමද කියන එක. කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක්ව තව ටිකක් ඔපමට්ටම් කරලා ගත්තොත් අපේ ජාතික කණ්ඩායමේ නොම්බර 3 ස්ථානයට තව අවුරුදු 10ක්වත් යනකන් වෙන ක්‍රීඩකයින්ව හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුත් දැන් ඒ ගැන වැඩිපුර හිතලා තියනවා. ඔහුටත් තව ගොඩක් දේවල් තියනවා හදාගන්න. මම හිතනවා වසරක් විතර ගතවන විට ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරට කුසල් මෙන්ඩිස් පැමිණේවි කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *