ටී.එම් ඩිල්ශාන්, පැතුම් නිස්සංක අතරට කුසල් මෙන්ඩිස් එක්වෙයි.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟයෙන් තියුණු සටනකින් අනතුරුව නවසීලන්තය කඩුලු 4ක ජයක් ලබාගැනීමත් සමඟින් තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයගැනීමට ද නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක Tom Latham පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබාගැනීමට සමත්වුණා.

 

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 48කට මුහුණදෙමින් හතරේ පහර 6ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත්විය.

 

කුසල් මෙන්ඩිස්ගේ මෙම ඉනිමත් සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර ලකුණු 1000 සීමාව පසුකර යාමටද ඔහු සමත්වූ අතර, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් එවැනි දස්කමක් කළ 3වෙනි ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත්වුණා.

 

මේ වන විට, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 ලබාගෙන ඇති ක්‍රීඩකයින්,

1) T.M ඩිල්ශාන් – ලකුණු 1720

2) පැතුම් නිස්සංක – ලකුණු 1059

3) කුසල් මෙන්ඩිස් – ලකුණු 1036

 

ඊට අමතරව මෙම ඉනිමේදී එල්ල කළ හයේ පහර 5ත් සමඟින්, ආරම්භක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහර දීමට පැමිණ හයේ පහර 50 පසුකර යාමටද කුසල් මෙන්ඩිස් අද සමත්වුණා. මේ වන විට ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස හයේ පහර 52ක් එල්ල කර ඇත.

 

මෙම තරඟයේදී මෙන්ඩිස්ට අමතරව කුසල් පෙරේරා පන්දු 21කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 25කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් හා දනංජය ද සිල්වා පන්දු 9කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

පන්දු යැවීමේදී Ben Lister පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 2ක් දවාගත් අතර, Adam Milne හා Ish Sodhi එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

අනතුරුව ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 183ක් ලබාගනිමින් තියුණු ජයක් ලබාගැනීමට සමත්විය.

 

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tim Seifert විශිෂ්ඨ අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 48කදී හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 88ක් ලබාගැනීමට සමත්වුණා.

 

ඊට අමතරව නායක Tom Latham පන්දු 23කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබාගත් අතර, Chad Bowes පන්දු 18කදී ලකුණු 17ක් හා Mark Chapman පන්දු 12කදී ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 3.5ක් අවසානයේදී ලකුණු 38කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර, මහීශ් තීක්ශන හා ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

ඒ අනුව, දෙරට අතර පැවතී තුන්වන විස්සයි විස්ස තරඟය ජයගැනීමත් සමඟින්, තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ ලකුණු 88ක් ලබාගත් Tim Seifert වේ.

 

වීඩියෝ එක මෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *