දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්.

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර තරඟය ශ්‍රී ලංකාවට පරාජයට පත් වීමට සිදුවූ අතර, මීලඟ තරඟය ලෙස දකුණු අප්‍රිකාවට එරෙහි තරඟය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක ෆේස්බුක් සජීවී වැඩසටහනකට එක්වුණා.

 

 

ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හට සාර්ථක වීමට නොහැකි වූ අතර, දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයේදීත් එම කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

 

මීලඟ තරඟය අපි තවත් ස්පිනර් කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න පොඩි අදහසක් තියනවා. නමුත් සාජා වල වේගපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් නිසා කලින් ක්‍රීඩා කළ කණ්ඩායම එක්ක තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා. එදා තරඟයේදී අපේ වේගපන්දු යවන්නන් අලුත් පන්දුවෙන් කඩුලු ලබාගත්ත නැති නිසා අපේ ස්පිනර්ස්ල දෙන්නව කලින් යූස් කරන්න වුණා. අපේ වේගපන්දු යවන්නන් හරි ඒරියාස් වල පන්දු යව්වනම් මීට වඩා හොඳ තරඟයක් ලබාදෙන්න තිබුණා. පසුගිය තරඟ බැලුවාම අපේ වේගපන්දු යවන්නන් හොඳින්ම පන්දු යව්වා. ඒ නිසා ඔවුන්ට තව අවස්ථාවක් ලබාදිය යුතුයි කියලා මම හිතනවා.

 

 

මෙවර ලෝක කුසලානයේ තරඟ ආරම්භ වීමට පෙර ක්‍රීඩකයින් දණ නමා වර්ගවාදයට එරෙහිව වන බව දක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස සිදුකිරීමට බලාපොරොත්තුවක් නැති බව දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

 

 

“ශ්‍රී ලංකාවේ වර්ගවාදය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට විශේෂයෙන්ම එහෙම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අපි කොහොමත් සාමූහිකත්වයෙන් වැඩ කරන ජාතියක්. කණ්ඩායමක් විදිහට ගත්තාමත් අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”

 

 

පෙර තරඟයේදී ඕස්ට්‍රේලියා පිතිකරුවන් විසින් ලහිරු කුමාරගේ පන්දුවාර 3 තුළදී ලකුණු 48ක් ලබාගත් නමුත්, මීලඟ තරඟයේදීත් ඔහුට අවස්ථාව දිය යුතු බව නායක දසුන් ශානක ප්‍රකාශ කළා.

 

“ලහිරු කුමාරගේ බෝලින් වල කන්ට්‍රෝල් එක හොඳට තිබුණා. හොඳ කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරන කොට අපේ හැම දුර්වල පන්දුවකටම ඔවුන් පහරක් ගහන්න බලාගෙන ඉන්නේ. ඉතින් ලහිරු කුමාර අවබෝධ කරගන්න ඕනේ පුලුවන් තරම් ලකුණු ලබාදෙන්නේ නැතුව අඩු ලකුණු වලට පන්දු යවන්න. එක තරඟයක ෆේල් වුණා කියලා ඔහු නරක පන්දු යවන්නෙක් වෙන්නෙ නැහැ. ඔහු පසුගිය කාලය පුරාවට ඔහුගේ දක්ශතාවය ගොඩ නඟාගෙන තියනවා. ඉතින් මේ තරඟයේදී නැවතත් ඔහුගේ රිද්මයට පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හොඳින් පන්දු යැවූවත් ඔහුට පන්දුවාර හතරම යැවීමට නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නයකට දසුන් ශානක පිලිතුරු ලබාදුන්නෙ මෙලෙසින්,

 

 

“චාමික කරුණාරත්නව පාවිච්චි කරන්න පුලුවන් හැම තැනකදිම පාවිච්චි කරලා තියෙන්නේ. ඔහු පවර්ප්ලේ එකේදිත් පන්දු යැව්වා. බංගලාදේශයට එරෙහි තරඟයේදී තවත් වැඩිපුර වේගපන්දු යවන්නෙක් සිටිය නිසා ඔහුගේ පන්දුවාර 4ම යවන්න බැරි වුණේ. අනිත් හැම වෙලාවෙදීම දුශ්මන්ත චමීර , ලහිරු කුමාර සිටියා. ඒ දෙන්නට උඩින් මම දකින්නෙ නැහැ චාමිකට පන්දු යවන්න වෙන වෙලාවක් තිබුණා කියලා.”

 

 

අවසාන වශයෙන් දසුන් ශානක ප්‍රකාශ කළ සිටියේ ක්‍රීඩකයින් හොඳ රිද්මයක සිටින බවත් මීලඟ තරඟය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

 

“අපේ ක්‍රීඩකයින් සියලුම දෙනාම හොඳ රිදම් එකක ඉන්නවා. දකුණු අප්‍රිකාව සමඟ අපි මාසෙකට කලින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කළාට වඩා දැන් අපි හොඳ මානසිකත්වයකින් ඉන්නවා. ඒ නිසා මේ තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *