දනංජය වැනි තවත් දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා නොකර එකම කණ්ඩායම ක්‍රීඩා කිරීමට හේතුව වනිඳු හසරංග පවසයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවතී තරඟය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට, ලෝක කුසලානයේදී අවසන් පූර්ව වටයට තේරීමේ අවස්ථාව ගිලිහී ගිය අතර, තරඟයෙන් අනතුරුව වනිඳු හසරංග මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම තරඟාවලියේදී හා ඉදිරි තරඟාවලියේදී කණ්ඩායමේ සැළසුම් ගැන අදහස් දක්වා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 76ක් තුළ බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසී වනිඳු හසරංග හා දසුන් ශානක එක්ව ලකුණු 53ක සබඳතාවක් එක්කරමින්, තරඟය පිලිඹඳව බලාපොරොත්තුවක් එක්කිරීමට සමත් වුණා.
“මම, දසුන් ශානක එක්ක බැට් කරද්දී අපි කතා වුණේ තරඟය පුලුවන් තරම් අපේ පැත්තට ඇදලා තියාගන්න. අපිට චාමික කරුණාරත්න බැට් කරන්න හිටියා, දුශ්මන්ත චමීරටත් බැට් කරන්න පුලුවන්. ඉතින් අපි පුලුවන් තරම් ප්ලෑන් කරේ ඕවරයට ලකුණු 8, 9ක් වගේ ලබාගන්න. නමුත් අවසනාවන්ත විදිහට මම අවුට් වූණ එකෙන් කණ්ඩායමට ලොකු පාඩුවක් වුණා.” – වනිඳු හසරංග
“අපි පසුගිය කාලය පුරාවටම වයිට් බෝල් ක්‍රිකට් එකේදී කණ්ඩායමක් විදිහට පසුබෑමකට ලක් වෙලා හිටියේ. ඊට පස්සෙ අපි ටීම් එකක් විදිහට තමන්, 100%ක්ම කණ්ඩායම වෙනුවෙන් දෙන්නේ කොහොමද කියලා බැලුවා. ඒ දේවල් ක්‍රීඩකයින් සමඟ කතා කරලා, හඳුනාගත්‍ත නිසා තමයි මේ විදියට අපිට ඕනෑම කණ්ඩායමකට තරඟයක් දෙන්න පුලුවන් තැනකට දැන් ඇවිත් තියෙන්නෙ. අපි හැමෝම ප්‍රැක්ටිස් වලට, ෆිට්නස් වලට ගොඩක් මහන්සි වෙනවා. අපි තව තවත් වැඩිපුර පුහුණුවීම් කරන්න අවශ්‍යයි. ඒ දේවල් වල ප්‍රතිඵල ඉදිරියේදී දැකගන්න පුලුවන් වෙයි.”
මෙම වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට පත්වීමට වනිඳු හසරංගට හැකි වූ අතර, තමාගේ පලවෙනි ලෝක කුසලාන තරඟාවලියේදී මෙලෙස දස්කම් දැක්වීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව පවසා සිටියා.
“මේ අවුරුද්දේ මේ වන විට මම තමයි T20 වල වැඩිම කඩුලු ලබාගෙන තියෙන්නේ. ලෙග්ස්පිනර් කෙනෙක් විදිහට වැඩිම විකට් ලබාගත්ත කෙනා වෙන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි. මේක මගේ පලවෙනි ලෝක කුසලානය. ඉතින් මගේ පලවෙනි ලෝක කුසලාන තරඟාවලියේදීම මේ විදියට දස්කම් දැක්වීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි.”
මෙම තරඟයේදී වේගපන්දු යවන්නන් හට සාර්ථක වීමට නොහැකි වූ අතර , දඟපන්දු යවන්නන් හට යෝග්‍ය තණතීරුවක තවත් දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් වනිඳු දැක්වූයේ මෙවන් අදහසක්,
“අපි අන්තිමට ක්‍රීඩා කළ තරඟ කිහිපය ක්‍රීඩා කළේ මේ ක්‍රීඩකයින් 11 දෙනා සමඟ. අපිට අවශ්‍ය වෙලා තිබුණේ මේ තරඟයත් ජයග්‍රහණය කරලා, මේ තරඟාවලියේ අවසන් පූර්ව වටයට යාමට අවස්ථාවක් ලබාගන්න. එ නිසා කණ්ඩායමක් විදිහට, කලින් තරඟ ක්‍රීඩා කළ කණ්ඩායම සමඟම මේ තරඟයත් ක්‍රීඩා කරන්න අවශ්‍ය වුණා. මොකද, පහුගිය තරඟ වලදී ක්‍රීඩකයින් තමන්ගේ කාර්යයන් හොඳින්ම සිදු කරලා තිබුණා.” – වනිඳු හසරංග
අපිට ලබන වසරේත් විස්සයි විස්ස ලෝක කුසලානයක් තියනවා. මේ ලෝක කුසලානය මගේ වගේම කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයින්ගේ පලවෙනි ලෝක කුසලාන තරඟාවලිය. මේ ලෝක කුසලානයේදි අපි අතින් සිදුවුණ වැරදිත්, ඉදිරි තරඟාවලි වලදී අපේ වැරදි හදාගෙන පුලුවන් තරම් හොඳ කණ්ඩායමක් විදිහට ඊලඟ ලෝක කුසලානය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.