දනන්ජය ද සිල්වා සංචිතයෙන් ඉවත් වේවිද? – ලසිත් මාලිංග

ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 7වන දින ආරම්භ වීමට නියමිත අතර, අද (6) දින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ යූටියුබ් නාළිකාව ඔස්සේ සජීවීව පැමිණ ප්‍රේක්ෂකයින් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදුන්නා.

 

 

එහිදී, මේ වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින්, ලෝක කුසලාන සංචිතයේ වෙනසක් වෙයිද? කියලා බලාපොරොත්තුවෙන් සිටින අතර දනන්ජය ද සිල්වා සංචිතයෙන් ඉවත් වේවිද? ලහිරු මධුසංකගේ ආබාධය හේතුවෙන් ඔහුට මෙම සංචිතයෙන් ඉවත් වීමට සිදුවේවිද? යන්න ලසිත් මාලිංග විසින් අදහස් ප්‍රකාශ කර සිටියා.

 

 

“ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටියා ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනසක් වෙයි කියලා. දනන්ජය ද සිල්වා සංචිතයෙන් ඉවත් වෙයිද? ලහිරු මධුසංක වෙනුවට සංචිතයට එකතු වෙන ක්‍රීඩකයා කවුද? කියලා ගොඩක් අය කතා වෙන්න ගත්තා. මේ වෙන කොට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ඕමානය බලා පිටත් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා අවසන් 15 දෙනාගෙන් යුත් සංචිතය තෝරන්න ඔක්තෝබර් මස 10 වෙනිදා දක්වා කාලය තියනවා. ඒ නිසා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් වෙයිද කියලා අපිට දැන්ම කියන්න බැහැ.”

 

 

“මගේ පෞද්ගලික මතය අනුව ලහිරු මධුසංකට තවමත් ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙනවා. මේ තරඟ දෙක අවසන් වෙන් කොට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව හොදයි කියලා පෙන්නන්න පුලුවන්නම් අනිවාර්යයෙන්ම 15දෙනා අතර ඉන්න ඕන ක්‍රීඩකයෙක්. දනන්ජය ද සිල්වා කියන්නේ කණ්ඩායමේ උපනායකයා. ඒ වගේම තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. මගේ දැනුමේ විදියට දනන්ජය ද සිල්වාව යොදා ගන්න විදිහ ඔහුටත් කරන්නේ අසාදාරණයක්. ඔහු අංක ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. නමුත් පසුගිය තරඟාවලියේදී අංක 7, 8 ස්ථාන වලත් ක්‍රීඩා කළා. මම හිතන්නේ ඔහුගෙන් ලබාගන්න ඕන කාර්යය ශ්‍රී ලංකා කණ්ඩායම හරියට වටහාගෙන නැහැ කියලා.”

 

 

“තවද, කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් බානුක සංචිතයට එකතු වෙලා තියනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලහිරු මධුසංක ආබාධය සුව වූයේ නැත්නම් ඒ වෙනුවට මිනෝද් බානුකව සංචිතයට ඇතුළත් කරනවා කියන්නේ අපි තේරීම් වලදී යම්කිසි තැනකදී වැරැද්දක් කරලා තියනවා, ඕල්රවුන්ඩර් කෙනෙක් වෙනුවට විකට් කීපර් ආරම්භක පිතිකරුවෙක් කණ්ඩායමට එකතු කරන එක. නමුත් මිනෝද් බානුක කණ්ඩායමේ නොසිටිය යුතු ක්‍රීඩකයෙක් කියලා මම කියන්නෙ නැහැ. ඔහු පසුගිය ඉන්දීය සංචාරයේදීත් කඩුලු රකින්නා විදියට සිටිය ක්‍රීඩකයා. ඒ නිසා ඕමානය සමඟ පැවැත්වෙන තරඟ දෙකේදී ක්‍රීඩකයින්ට අවස්ථාවක් තියනවා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙන්න.”

 

 

ලසිත් මාලිංගගේ ක්‍රීඩා ජීවිතය තුළදී ගොඩක් ප්‍රශ්න ඇති වූ අතර එම සියලුම ප්‍රශ්න වලට ඔහු සාර්ථක මුහුණදුන් විදිහ ගැන ප්‍රේක්ෂකයෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට ලසිත් මාලිංග පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්.

 

 

ක්‍රිකට් කියන්නේ පන්දුවත් පිත්තත් අතර තරඟයක් කියලා අපි හැමෝම දන්නවා. නමුත් මෙම තරඟයට අපිට බාවිතා කරන්න වෙනම කලාවක් තියනවා. මේ පන්දුවත් පිත්තත් බාවිතා කරන කොට මම කිව්ව කලාව තමයි අපිට ලැබුණ අත්දැකීම් මේ දෙකට කොහොමද අවශ්‍ය විදියට සංකලනය කරලා අපිට අවශ්‍ය දක්ශතාවය ඉහළට ගන්නේ කියන එක.

 

ඔයාලා හැමෝම දන්නවා මගේ ක්‍රිකට් කාලය තුළ මට මාධ්‍යයෙන්, යම් යම් අවස්ථාවලින් මට ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒ කිසිම ප්‍රශ්නයක් විනය විරොධී ප්‍රශ්න නෙමේ. අයි සී සී එකෙන් ඇතිවුණ ප්‍රශ්න නෙමේ. මට හැම ප්‍රශ්නයක්ම ඇතිවුනේ අනිත් ක්‍රීඩකයින්ට උදව් කරන්න හෝ අනෙක් ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නයකට බය නැතුව හරි විදියට කතා කරපු නිසා. ඒ ප්‍රශ්න වලින් මම ඉගෙන ගත්ත දේවල් ගොඩාක් තියනවා. ඉන්ජරි වලදී, එකේක ප්‍රශ්න වලදී, මාධ්‍ය තුළින් වසර ගණනක් එකදිගට පහරගහන කොට ඉගෙන ගත්ත දේවල් ගොඩායි. ඒ නිසා මම ලබපු අත්දැකීම් මෝටිවේශන් එකක් විදියට ඉදිරියේදී ඔයාලා සමඟ ශෙයාර් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *