දසුන් ශානක විසින් එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංයුතිය නම් කරයි.

ශ්‍රී ලංකා – ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට (18) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරඟය පිළිඹඳව අදහස් දැක්වීමට අද දිනයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වුණා.

එහිදී ඔහු තරඟාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා සංයුතිය හා තරඟාවලියේ තරුණ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ආකා‍රය ගැන සඳහනක් එක් කළා.

 (Photo By Seb Daly/Sportsfile via Getty Images)

“අපි මෙම තරඟාවලියේදී පිතිකරුවන් 6ක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 2ක් හා ප්‍රධාන පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර මමත් බලාපොරොත්තු වෙනවා පන්දුවෙනුත් කණ්ඩායමට මගේ දායකත්වය ලබා දෙන්න.”

මේ අතර තරඟාවලි දෙකකින් පසුව කුසල් ජනිත්ගෙන් නායකත්වය දසුන් ශානකට ලැබුන අතර මෙලෙස තරඟාවලියෙන් තරඟාවලියට නායකයින් මාරු කිරීම සම්බන්ධයෙන් දසුන් ශානක ප්‍රකාශ කළ සිටියේ අඩුම අවුරුද්දක් හෝ අවුරුදු දෙකක කාළයක් එක ක්‍රීඩකයෙකුට නායකත්වය ලබා දිය යුතු බවයි.

“නායකයෙකුට යම්කිසි කාලයක් ලබා දෙන්න ඔනේ නායකයෙකු විදිහට ස්ථාවර වෙන්න. එතකොට තමයි නායකයාට, ක්‍රීඩකයින්ට, වගේම තේරීම් කමුටුවටත් විශ්වාසයක් ඇතිවෙන්නේ. මම හිතන විදියට නායකත්වය එක දිගට අවුරුද්දක්, දෙකක් නායකත්වය බාර දෙන කෙනාට දීලා තියන්න ඕනේ. එතකොට තමයි ඊලඟ පත්වෙන්න ඉන්න නායකයාටත්, තරඟයකදී ක්‍රීඩා කළ යුතු ආකා‍රය, ඒ ඒ අවස්ථාවලදී ගත යුතු තීරණ ගැන හොඳ ඇත්දැකීමක් ලැබෙන්නේ.”

“අපිට අනිවාර්යයෙන්ම කියන්න බෑ හැම තරඟයක්ම ජයග්‍රහණය කරනවා කියලා. නමුත් මට කියන්න පුලුවන් අනිවාර්යයෙන්ම අපි හොඳ තරඟයක් ලබා දෙනවා කියලා. මොකද මම හැමවෙලාවෙ ක්‍රීඩකයින්ව විශ්වාස කරනවා. මම හැමක්‍රීඩකයෙක් එක්කම කතා කරා වෙන්න ඕන දේවල් ටික කිව්වා. මම එයාලා එක්ක කතා කරලා ප්ලෑන්ස් හදාගෙන තියනවා.”

“ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිලිඹඳව අපි පසුගිය දවස් කිහිපයේදීම හොඳින් අධ්‍යනය කළා. මේ වන විට අපේ පන්දු යවන්නන්ට හොඳ දැනුමක් ලැබිලා තියනවා ඉන්දීය පිතිකරුවන්ව හසුරවන්නේ කොහොමද කියලා. ඒ වගේම හිතනවා අපේ ක්‍රීඩකයින් 100%ක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *