දික්වැල්ල ලොකු 100 ඒවා ගහලා නෑ, නමුත් ඉදිරියේදී ඔහු ඒකත් ලබාගනීවි.

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු ටෙස්ට් තරඟයේදී, පකිස්තාන කණ්ඩායම දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දුන් ආකාරය හේතුවෙන් නොසිතූ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය පරාජය වීමට සිදුවුණා.

 

 

තරඟයෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන දනංජය ද සිල්වා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර, එහිදී තරඟයේ පරාජයට හේතුව හා තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

 

 

එහිදී, පලමු වශයෙන් මෙම තරඟය පරාජය වීමට හේතුව ලෙස දනංජය ද සිල්වා පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ඉතා අඩු බැවින් තරඟය පරාජයට පත්වු බවයි.

“මම හිතන්නේ අපි පලවෙනි ඉනිමේදී ලබාගත්ත ලකුණු ප්‍රමාණය අඩුයි. ටොස් එක දිනලා මුලින්ම බැට් කරන කොට අපි ලකුණු 350ක් 400ක් විතර ගහන්න ඕනේ. නමුත් අපි දෙවෙනි ඉනිමේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ලබාගත්තා.. නමුත් පකිස්තානය බැට් කරද්දී විකට් එක දඟකැවුනේ නැහැ.. මම හිතන්නේ පලමු ඉනිමේ ලබාගත් ලකුණු ප්‍රමාණය තමයි පරාජයට හේතුව.”

 

 

ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි අංක එකේ සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම පහුගිය තරඟයේදී ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කර නමුත්, පකිස්තානය හමුවේ පරාජයට පත්වීමට හේතුව ලෙස දනංජය ද සිල්වා ප්‍රකාශ කර සිටියේ තණතිල්ලේ බලපෑම පරාජයට හේතුවූ බවයි.

“ඒක රෑන්කින් වල බලපෑමක් නෙමේ. මම හිතන්නේ අපි සෙල්ලම් කරපු විදිහ තමයි ඒකට බලපාන්නේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන තරඟය ක්‍රීඩා කළ තණතිල්ලයි, මේ තණතිල්ලයි අතර ලොකු වෙනසක් තිබුණා. ගාල්ලේ හතරවෙනි, පස්වෙනි දවස් කියන්නේ පිතිකරුවන්ට වාසිදායක නැහැ. අපි සෙල්ලම් කළ තණතිල්ල ලොකුවට දගකැවීමක් තිබුණේ නැහැ.”

 

 

පකිස්තානය පන්දුවට පහර දීමේදී, ශ්‍රී ලංකා නායකයා දිමුත් කරුණාරත්න , පකිස්තානය ඇටෑකින් ෆීල්ඩ් එකක් නොදැමීම සම්බන්ධයෙන් සෝශල් මීඩියා හරහා ද ගොඩාක් කතාබහට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුගෙන් නැගුනු ප්‍රශ්නයකට දනංජය ද සිල්වා පිලිතුරු ලබාදුන්නේ මෙලෙසින්,

 

 

“අපේ බෝලර්ස්ලාගෙන්, ගොඩ වෙලාවක් එක තැනකට බෝල් දාගෙන හිටියේ ප්‍රබාත් ජයසූරිය විතරයි. අනිත් දෙන්නගෙන් ගොඩක් ලකුණු යන්න ගත්තා. එතකොට අපිට ගොඩ වෙලාවක් ඇටෑකින් ෆීල්ඩ් එකක් තියාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක්ම බැලුවේ ඒගොල්ලෝ ගහන හතරේ පහරවල් ටික නවත්වන්න.”

 

 

පකිස්තානයට එරෙහිව පැවතී තරඟයේදී මෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී තරඟයේදීද, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නෙක් ලෙස කටයුතු කරන නිරෝශන් දික්වැල්ල අතින්, දවාගැනීම් අවස්ථා කිහිපයක්ම මඟ හැරුණු අතර, මාධ්‍යවේදීන් දනුශ්ක අරවින්ද විසින්, “නිරෝශන් දික්වැල්ලගෙන් කණ්ඩායමට සේවයක් වෙනවාද?” යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට දනංජය ද සිල්වා පැවසූවේ මෙවැන්නක්,

 

 

“ස්පින් එකට දැනට ලංකාවේ ඉන්න හොඳම විකට් කීපර් තමයි නිරෝශන් දික්වැල්ල. මොකද, එයා තරඟ 50කට වැඩිය ගහලා තියනවා. ඒකෙන් ඔප්පුවෙනවා ඔහු ස්පින් විකට් වලට ගොඩාක් හොඳ කඩුලු රකින්නෙක් කියලා. අවස්ථා කිහිපයක් මඟ හැරුණුනට ඔහු හොඳින් විකට් කීපින් කරල තියනවා.”

 

“ලකුණු ලබාගැනීම ගත්තොත් , ඔහු තැනින් තැන හොඳ ඉනිම් ක්‍රීඩා කරලා තියනවා. ඕගොල්ලෝ කියනවා වගේ ලොකු 100 ඒවා තමයි තවම ගහලා නැත්තේ. අනාගතයේදී ඔහු ඒක කරලා දෙයි. නමුත් අපි අමාරුවේ වැටුන වෙලාවට ඔහු හොඳ ඉනිම් ගහලා කණ්ඩායමට ලකුණු ලබාගෙන දීලා තියනවා.”

 

 

දනංජය ද සිල්වා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වුවත්, ඔහුටද පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, පන්දු යැවීමටද ලොකු අවස්ථාවක් නොලැබිණි. ඒ සම්බන්ධයෙන් දනංජය ද සිල්වා පවසා සිටියේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් සිටින විට, නායකයා මූලිකත්වය ලබාදෙන්නේ ප්‍රධාන පන්දු යවන්නන්ට බවයි.

 

 

“ඇත්තටම කියනවානම් මට පිත්තෙන් ලොකු දායකත්වයක් ලබාදෙන්න ලැබුණේ නැහැ. ඒකට ඇත්තටම මට කණගාටුයි. පන්දු යැවීම ගත්තොත් අපි ප්‍රධාන දඟපන්දු යවන්නන් තුන්දෙනෙක් ලබාගන්නවා. නායකයා ගොඩක් වෙලාවට මූලිකත්වය ලබාදෙන්නේ ඒ තුන්දෙනාට. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හොඳට කරන්න බැරි වුනොත් තමයි මම පන්දුයවන්න බාරගන්නේ.”

 

 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වේගපන්දු යවන්නෙක් හා දඟපන්දු යවන්නන් තුන්දෙනෙක් සමඟින් ක්‍රීඩා කළත් අවසානයේදී තරඟය පරාජයට පත්වූ අතර, මීලඟ තරඟයේදි සමහර විට සංයුතිය වෙනස් වීමට ද හැකියාවක් ඇති බවට ද අවසන් වශයෙන් දනංජය ද සිල්වා ප්‍රකාශ කර සිටියා.

“සංයුතිය වෙනස් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ පුහුණුකරු හා නායකයා. සමහර විට සංයුතිය වෙනස් කරන්නත් පුලුවන් , නැත්නම් පලවෙනි තරඟය ක්‍රීඩා කළ සංයුතියෙන්ම දෙවෙනි තරඟයත් ක්‍රීඩා කරන්න පුලුවන්. ඒක පුහුණුකරු හා නායකයා කතාවෙලා තීරණාක් ගත්තට පස්සේ ඉදිරියේදී අපිට දැනගන්න ලැබේවි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *