දිනේශ් චන්දිමාල් තමාගේ ජර්සි නම්බර් එක 36 සිට 56 ලෙස මාරු කිරීමට හේතුව මාධ්‍යට පවසයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය හෙට (29) ආරම්භ වීමට නියමිත වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේශ් චන්දිමාල් අද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් තරඟය ගැන අදහස් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩයමේ කඩුලු රකින්නෙකු වශයෙන් ටෙස්ට් දිවිය ආරම්භ කර, පසුව කාලයක් කඩුලු රකින කාර්යයෙන් ඉවත්වී සිටි දිනේශ් චන්දිමාල් නැවතත් කඩුලු රකින්නාගේ කාර්යය තමන් වෙත පැවරී ඇති දේ සම්බන්ධයෙන් චන්දිමාල් දැක්වූයේ මෙවන් අදහසක්,
“මම ටෙස්ට් ක්‍රිකට් පටන් ගත්තේ කඩුලු රකින්නෙක් විදිහට සහ අංක 6 හ 7 ස්ථානවල ක්‍රීඩා කරේ. 2015 දී අපේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් සමුගත්තාම මට පිතිකරණ ස්ථානයේ නොම්බර 4 දක්වා උඩට එන්න ලැබුණා. විශේෂයෙන්ම ටෙස්ට් තරඟයක අංක 4 ක්‍රීඩා කරලා කඩුලු රකින්න අපහසුයි. ඒ නිසා තමයි ටෙස්ට් ක්‍රිකට් වල කඩුලු රැකීමෙන් ඉවත්වෙලා සිටියේ. මට නැවතත් කඩුලු රැකීම හා නොම්බර 6 ස්ථානයේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඉතින් මම මගේ රාජකාරිය උපරිමයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.”
පලමු තරඟයෙන් පසු පැවතී මාධ්‍ය සාකච්ඡාවේදී නායක දිමුත් කරුණාරත්න විසින්, මීලඟ තරඟයේදී කණ්ඩායමේ වෙනස්කමක් සිදුකරන බව පවසා සිටි අතර, අද (28) දින දිනේශ් චන්දිමාල් පැවසුවේ පලමු තරඟය ක්‍රීඩා කළ දුශ්මන්ත චමීරව විවේක ගන්වා ඇති බැවින් චරිත් අසලංකට හෝ වෙනත් වේගපන්දු යවන්නෙක්ට අවස්ථාවක් ඇති බවයි.
“මම තවම දෙවෙනි තරඟය ක්‍රීඩා කරන 11 දෙනා දන්නෙ නැහැ. නමුත් දුශ්මන්ත චමීරව විවේක ගන්වලා තියන නිසා එක ස්ථානයක වෙනසක් සිදුවෙන්න පුලුවන්. චරිත් අසලංකට හා වෙනත් වේගපන්දු යවන්නෙක්ට අවස්ථාව තියනවා එම ස්ථානය ලබා ගන්න. ඒක නායකයා හා පුහුණුකරුවන් , තේරීම් කමිටුව එකතු වෙලා තීරණය කරාවි.”
ඊට අමතරව, දෙවන තරඟය සඳහා ක්‍රීඩා කරණ තණතිල්ල සහ, පළමු තරඟයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට හේතුවූ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක සම්බන්ධයෙන් චන්දිමාල් දැක්වූයේ මෙවන් අදහසක්,
“අපිට තණතිල්ල ගැන අද බලන්න පුලුවන් වුණා. පලවෙනි තරඟයට වඩා තණතිල්ල වේලුන ගතියක් තියනවා. ඒ නිසා දඟපන්දු යවන්නන්ට තව ලොකු අවස්ථාවක් තියේවි. කාළගුණය ගත්තත් හොඳ තත්වයේ තියනවා.”
“ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක වගේ ස්ටාෆ් එකක් මම කවදාවත් වෙන තැනක දැකලා නැහැ. මොකද, ඔවුන්ටත් තියනවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට තියන උනන්දුව. අපේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ වැඩ කරන සේවක මහතුන් අතිවිශිෂ්ඨයි. එදා පලවෙනි තරඟයේදී වැඩිපුර ගෞරවයක් හිමිවෙන්න ඕනේ එයාලට. එයාලගේ මහන්සිය නිසා තමයි අපිට තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණේ. තව පන්දුවාරයක් ගියානම් අපිට තරඟය ක්‍රීඩා කරන්න වෙන්නෙ නැහැ. මොකද, තරඟයෙන් පස්සේ සවස 5.30 පමණ වෙනකන් ගාල්ල ග්‍රවුන්ඩ් එකට එකදිගට වර්ෂාව පතිත වුණා.”
දිනේශ් චන්දිමාල් මෙතෙක් ඔහුගේ ජර්සි නම්බර් එක ලෙස අංක 36 භාවිතා කළ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවතී පලමු තරඟයේදී ඔහු ජර්සි නම්බර් එක වෙනස් කර ඇති බව දක්නට ලැබුණ අතර, ඊට හේතුව ඔහු අද මාධ්‍යට ප්‍රකාශ කළා..
“මගේ ජර්සි නම්බර් එක 36න් 56ට මාරුවෙන්න එහෙම විශේෂ දෙයක් නෑ. මට අවශ්‍ය වෙලා තිබුණා වෙනසක් කරන්න. මම මුලින්ම අංක 17 තියාගෙන සෙල්ලම් කරා. ඊට පස්සේ 2015 දී මම ජර්සි නම්බර් එක 36 ට වෙනස් කරා. ඉතින් ආයෙමත් මට අවශ්‍ය වුණා පොඩි වෙනසක් සිදු කරන්න. ඒ නිසා තමයි මම නැවතත් මගේ ජර්සි නම්බර් එක මාරු කරේ.”
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් අවසන් ටෙස්ට් තරඟය, ශ්‍රී ලංකා පුහුණුකරු ධූරයේ කටයුතු කළ මිකී ආතර්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පැවැත්වෙන අවසන් තරඟය බැවින්, කණ්ඩායමක් ලෙස හොඳින් තරඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා සිටියා.
“මිකී ආතර් කියන්නේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස් ගැන වැඩිපුර හිතන පුහුණුකරුවෙක්. ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක, පකිස්ථාන කණ්ඩායම එක්ක කාලයක් වැඩ කරලා ඔහුටත් අත්දැකීම් තියනවා. අනිත් එක ඔහු හැම තරඟයක්ම දිනන්න අවශ්‍යතාවය තියන පුහුණුකරුවෙක්. ඔහුගේ ආකල්ප ක්‍රීඩකයින්ටත් ගොඩක් උදව් වුණා. මේක ඔහු අපේ කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරණ අවසන් තරඟය. ඉතින් අපි කණ්ඩායමක් විදිහට මේ තරඟය හොඳ විදිහට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”