දුශ්මන්ත චමීරගේ අඩුපාඩුවක් තියනවා. අනිවාර්යයෙන්ම එය හදාගත යුතුයි – ලසිත් මාලිංග
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් එක්දින තරඟයේ පලමුව පහර දුන් ඉන්දියා කණ්ඩායමේ කඩුලු සියල්ලම ලකුණු 225කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකි වුණා.

ඉන්දියා ඉනිම අවසන් වූ වහාම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය යූටියුබ් නාළිකාව ඔස්සේ සජීවීව පැමිණ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇගයීමකට ලක් කළ අතර, ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව පන්දුවාර 47 ක්‍රීඩා කිරීමට හැකියාව ලබුනොත් මෙම තරඟය ජයග්‍රහණය කිරීමටනම් අනිවාර්යයෙන්ම හැකි වන බවයි.
තරඟය පිළිඹඳ ලසිත් මාලිංග දැක්වු අදහස පහළින්.
අපිට ඉන්දියා කණ්ඩායමේ ඉනිම 225කට අවසන් කිරීමට හැකියාව ලැබුණා. දැන් අපි පන්දුවට පහර දෙන කොට පන්දුවාර 47ක් තියනවා. ඒ නිසා තරඟය ජයග්‍රහණය කිරීමටනම් කල්පනාකාරීව පන්දුවට පහර දෙන්න ඕනේ. අපිට පන්දුවාර 47ම ක්‍රීඩා කරන්න පුලුවන් වුනොත් තරඟය ජයග්‍රහණය කිරීමට පුලුවන් කියලා තේරුම් ගන්න ඕනේ.

පන්දු යැවීමේදී නායක දසුන් ශානක හොඳින් පන්දු යවන්නන්ව මෙහෙව්වා. දුශ්මන්ත චමීර ආරම්භයේදීම දවාන්ගේ කඩුල්ල දවා ගන්න පුලුවන් වුණා. නමුත් දුශ්මන්ත චමීරට බංගලාදේශ තරඟාවලියෙත්, එංගලන්ත තරඟාවලියෙත් දකුණත් පිතිකරුවට පන්දුව එළියට දෝලනය කිරීමට හැකියාව ලැබුණා. නමුත් මේ ඉන්දියා සංචාරයේ දී ඔහුගෙන් එම දෝලනය දකින්න හම්බවුනේ නැහැ. විස්සයි විස්ස තරඟාවලියට යන කොට දුශ්මන්ත අනිවාර්යයෙන්ම එම අඩුපාඩුව අදුරගෙන හදාගත යුතුයි.

ඒ වගේම අකිල ධනංජයගේ පලවෙනි පන්දුවාරයේදී ඔවුන් හොඳින් ලකුණු ලබාගත්තත්, දෙවෙනි වතාවෙත් තුන්වෙනි වතාවෙත් කණ්ඩායම වෙනුවෙන් ඔහු උපරිමයෙන් හොඳින් පන්දු යවලා කඩුලු ලබාගත්තා. කණ්ඩායමෙන් එලියට ගිය ක්‍රීඩකයෙක් ආයෙ කණ්ඩායමට ආවට පස්සේ ටික වෙලාවක් යනවා තමාට විශ්වාසයක් ඇතිවෙලා තමන්ගේ දක්ශතාවය පෙන්නන්න.

ප්‍රවීන් ජයවික්‍රම ගත්තාම ඔහු කණ්ඩායමට අවශ්‍යම වෙලාවේ කඩුලු ලබා දෙන්න උත්සහා කළා. ඒ වගේම හොඳින් කඩුලු ලබා දුන්නා. ඔහු පිතිකරුවන්ට පන්දුවට පහර දෙන්න පුලුවන් විදිහට පන්දුයවලා කඩුලු ලබාගත්තා. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් සෙල්ලම් කරන කොට තමන්ට හොඳින්ම කරන්න පුලුවෙන් දේ කරන්න ඕනේ.

ඉන්දියා කණ්ඩායමේ සූර්‍යකුමාර් පන්දුයවන්නන්ට අභියෝගයක් වෙන විදිහට හැමවෙලාවෙම පන්දු රකින්නන් නැති තැන් වලට ගහලා ලකුණු ලබාගන්නවා. ඒකට තමයි ෆියර්ලස් ක්‍රිකට් කියන්නේ. ෆියර්ලස් ක්‍රීකට් කියන්නේ හැම බෝලයටම ගහගෙන ගහගෙන යන එක නෙමේ. ඒ විදිහට ගැප් වලින් හතරේ පහරවල් ගහන එකට තමයි ෆියර්ලස් ක්‍රිකට් කියන්නේ. සමහර අයට ෆියර්ලස් ක්‍රිකට් කිව්වාම හිතන්නේ එන එන හැම බෝලයටම හයියෙන් උඩින් ගහන එක කියලා. තමන් කඩුල්ලේ රැදී සිටිමින් හැම වෙලාවෙම ලකුණු එක බැඟින් හරි ලකුණු ලබාගන්න එක තමා හොඳ ක්‍රිකටර් කෙනෙක්ගේ ගුණාංගය.
