නායක දසුන් ශානක, සිම්බාබ්වේ තරඟාවලිය පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් ඉදිරිපත් කරයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 16 වන දින ආරම්භ වීමට නියමිත අතර, අද දින ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට එක්වෙමින් තරඟාවලියේ සැළසුම් හා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

 

 

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ආබාධ තත්ව හා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අහිමි වී තිබෙන අතර, දැනට නම් කර ඇති සංචිතය සම්බන්ධයෙන් දසුන් ශානක සිටින කණ්ඩායමෙන් උපරිමය අරගෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

 

මේ වෙලාවේ අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආබාධ වලට ලක් වෙලා, තවත් ක්‍රීඩකයින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙලා තියනවා. ඒ නිසා මේ වෙලාවේ අපිට ඉන්න හොඳම පිතිකරුවන් තමා මේ සංචිතයේ සිටින්නේ. මම නොම්බර 6 ස්ථානයේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

 

 

අවසානයට ක්‍රීඩා කළ එක්දින තරඟාවලිය ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මේ අවස්ථාවේදී ලෝකෙටම බලපාලා තියන කොවිඩ් 19 වෛරසය නිසා කලින් තරඟාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙම තරඟාවලිය අහිමි වෙලා තියනවා. ඉන්දියාව එක්ක තිබුණ තරඟාවලිය අතරතුරේදී ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොවිඩ් 19 වැළදීම නිසා ඔවුන්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වුණා. ඒ දේවල් අපිට නවත්වන්න බැහැ. ඒ නිසා දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් උපරිමය අරගෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට සුදුසු කණ්ඩායමක් මගේ ලඟ සිටිනවා කියලා මම හිතනවා.

 

 

ගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමකට ලක්වූ කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා ප්‍රධාන සංචිතයට කැඳවා ඇති අතර, ඔහු අනිවාර්යයෙන්ම ආරම්භ පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරන බව නායකයා පවසා සිටියා.

“කුසල් මෙන්ඩිස් කියන්නේ මොන වගේ ක්‍රීඩකයෙක් ද කියලා අපි දන්නවා. ඔහු පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී හොඳ ෆෝම් එකක හිටියා. අනිවාර්යයෙන්ම ඔහු ආරම්භ පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරන්න අපි හිතාගෙන ඉන්නවා.”

 

 

ප්‍රධාන සංචිතයේ සිටි මිනෝද් බානුක අද දින ආබාධයකට ලක්වී ඇති බව වාර්ථා වුණ අතර ඒ සම්බන්ධයෙන් දසුන් ශානක දැක්වූවේ මෙවන් අදහසක්,

“මිනෝද් බානුක ආබාධ වීම හේතුවෙන් නිරෝශන් දික්වැල්ල ඇවිත් තියනවා. ඔහුව නම් කරලා තියෙන්නේ ප්‍රධාන සංචිතයට නැතුව අතිරේක ක්‍රීඩකයෙක් විදිහට. ප්‍රධාන සංචිතය තුළ සිටින තවත් ක්‍රීඩකයෙක් ආබාධ වුනොත් හෝ කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් ඒකට පෙර සූදානමක් විදිහට නිරෝශන් දික්වැල්ලව ගෙනල්ලා තියෙන්නේ”

 

 

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තරඟ කිහිපයක හොඳින් කඩුලු රැකීමේ කාර්යයේ නිරත වූ අතර, දසුන් ශානක පවසා සිටියේ තවමත් මෙම තරඟාවලියේ කඩුලු රැකීමේ කාර්යය සිදුකරන්නේ කවුරුන් ද කියා තීරණය කර නොමැති බවයි.

“කඩුලු රැකීමේ කාර්යය සඳහා අපිට දිනේශ් චන්දිමාල් , කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් සිටිනවා. ඔවුන් දෙදෙනාම ඉතාමත් දක්ශ ක්‍රීඩකයින්. කඩුලු රකින්නේ කවුරුන්ද කියලා තවමත් තීරණය කරලා නැහැ. අද (14) දවස ඇතුළත එය තීරණය කරන්න ඉඩ තියනවා.”

 

 

තණතිල්ල හා කණ්ඩායමේ සංයුතිය ගැන දැක්වූ අදහස,

“පල්ලෙකැලේදී ක්‍රීඩාංගණයේ හොඳ තණතීරුවක් තියනවා. පහුගිය T20 Provincial තරඟාවලියෙන් පස්සේ මෙහෙ තරඟ පැවැත්වුනේ නැහැ. මෙම තරඟාවලියේ දී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු ලැබේවි කියලා මම විශ්වාස කරනවා. කණ්ඩායමේ සංයුතිය ගත්තොත් ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක් හා ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

 

 

ගිය වසරේ අවසානයේදී නායක දසුන් ශානක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඉන් අනතුරුව මෙම තරඟාවලියට සූදානම ලෙස දසුන් පැවසූවේ ශාරීරික යෝග්‍යතාව හොඳින් තිබුණ බැවින් තමාට ඉතා ඉක්මනින් Recovery වීමට හැකි වූ බවයි.

“මට කොවිඩ් වලින් ලොකු බලපෑමක් ඇතුවුණේ නැහැ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව මෙතනට එද්දී අනිවාර්යයෙන්ම පරීක්ෂණ කිහිපයක් කරනවා. මම විතරක් නෙමේ දුශ්මන්ත චමීරත් එම පරීක්ෂණ කිහිපය සිදු කළා. මෙම තරඟාවලියට එන්න කලින් පන්දුවට පහර දීම, පන්දු රැකීම හා පන්දු යැවීම අංශ තුනෙන්ම පුහුණුවීම් සිදුකළා. අපේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමක තිබුණ නිසා නැවත Recovery වෙන්න කෙටි කාලයකින් හැකි වුණා.”

 

 

“දුශ්මන්ත චමීරටත් කොවිඩ් ආසාදනය වුණ නිසා පහුගිය දින දෙක තුළ පන්දු යැවීමට නොහැකි වුණා. ගොඩක් වෙලාවට පලවෙනි එක්දින තරඟය දුශ්මන්තට ක්‍රීඩා කිරීමට නොහැකි වේවි. එහෙම වුනහොත් ඊලඟ තරඟ දෙක ඔහු ක්‍රීඩා කරනවා.”

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් රැසක් නම් කර ඇති අතර, දසුන් ශානක විසින් පවසා සිටියේ ඔවුන් කිහිපදෙනෙකුට මෙම තරඟාවලියේ දී එක්දින වරම් ලැබීමට හැකිවනු බවයි.

 

 

“ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීම බලන කොට අපිට මෙම තරඟ තුනම ඉතාමත් වැදගත්. නමුත්, තියන තත්වය අනුව අපිට තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙන්න වෙනවා. තරඟ ක්‍රීඩා කරන කණ්ඩායම් තීරණය කරන කොට අනිවාර්යයෙන්ම නවක ක්‍රීඩකයින් එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට අවස්ථාව ලැබේවි. ඔවුන්ට මේ වගේ තරඟාවලියකින් ජාත්‍යන්තර ක්‍රිකට් ආරම්භ කිරීමට හැකිවීම ගොඩාක් වටින දෙයක්. මොකද ඔවුන්ට බය නැතුව පර්ෆෝම් කරන්න අවස්ථාව තිබෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *