නිරෝශන් දික්වැල්ල කියන්නේ රටට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරවන්න පුලුවන් නායකයෙක් කියලා මම හදුනාගත්තා – මැනේජර්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා අද දින සජීවී වැඩසටහන් පැවැත්වූ අතර, එම වැඩහටහනට මේ වන විට තරඟ තහනමකට ලක්වී ඇති නිරෝශන් දික්වැල්ල හා ඔහුගේ පෞද්ගලික මැනේජර් අමිල කුලතුංග එකතුවුණා.

 

 

එහිදී නොයෙක්දේ කතා කෙරුණ අතර, ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික මැනේජර්වරයෙකුගේ කාර්යය ගැනද නිරෝශන් දික්වැල්ල අදහස් දැක්විය. එහිදී ඔහු සඳහන් කර සිටියේ තමන් වැටුන මොහොතේ තමාව අතහැර නොගිය මැනේජර්වරයෙකුගේ තමා ලඟ සිටි බවයි.

“අපි ක්‍රිකට් ක්‍රීඩා කරලා ජාතික මට්ටමට ආවට පස්සේ අපිට හොඳ ස්පොන්සර්ලා හම්බෙනවා. එයාලා එක්ක ගණුදෙනු කරන්නේ මැනේජර්ස්ලා. අපේ කාර්යය බහුලත්වයත් එක්ක අපේ අනෙකුත් දේවල් කරලා දෙන්නේ මැනේජර්ස්ලා. ඊට අමතරව මට මාස 5කට කලින් වුන දෙයත් එක්ක මම දැන් කරන්න ඕනේ මොනවද, මම ඉන්න තත්වයෙන් උඩට එන්නේ කොහොමද, මගේ මානසික මට්ටම හදන එක, ඒ ඔක්කොම අයිති මැනේජර්ට. ඒ ඔක්කෝම දේවල් කරන කෙනෙක්ට තමයි මම පිලිගන්නේ ඇත්තටම මැනේජර් කෙනෙක් කියලා. එහෙම නැතුව අපි වැටුන වෙලාවේ අපිව දාලා යන කෙනෙක් මැනේජර් කෙනෙක් නෙමේ.

 

 

”මගේ මැනේජර් මගේ ගෙදර දේවල් ගැන, මුදල් ගැන, මම කරන කියන දේවල් වගේම සෝශල් මීඩියා දේවල් හැමදේම සිදුකරනවා. මොකද, අපෙන් මොනවා හරි වැරැද්ද වුනොත් ඒක මැනේජර්ටත් වගකීමක් යනවා.”

මේ අතර, නිරෝශන් දික්වැල්ලගේ මැනේජර් වන අමිල කුලතුංග දික්වැල්ලව රටට වැඩදායි මනුස්සයෙක් විදිහට සමාජගත කිරීමට බලාපොරොත්තු වන බව පවසා සිටියේ මෙලෙසින්,

 

 

“මට දික්වැල්ල මුලින්ම හම්බවුනේ 2018 මුල් කාලයේදී. අපි ප්ලේයර් කෙනෙක්ගේ මැනේජර් කෙනෙක් වෙන්න කලින් එයාලා එක්ක ඉන්ටවිව් එකක් තියනවා. ඒකේදී මට තේරුණ දෙයක් තමයි දික්වැල්ල කවදාහරි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරලා, ලෝක කුසලානයක් ජයග්‍රහණය කරවන්න පුලුවන් ලෙවල් එකක ඉන්න, ගොඩාක් දැනුම තියන, බුද්ධිමත් නායකයෙක් කියලා. ඊට අමතරව ඔහු විනෝදකාමියෙක් කියලා දැනගත්තා.”

 

 

“දැන් දික්වැල්ල සිටින තත්වය, මම මීට කලිනුත් සමහර ක්‍රීඩකයින් එක්ක ඉදලා තියනවා. මමත් ඒ කාලේ මේ වගේ වැටිලා තියනවා මේ වගේ සිටුවේශන් වල ඉදලා තියනවා. එලියේ ඉන්න අයට පෙනෙන ස්වරූපය නෙමේ ක්‍රීඩකයෙක්ගේ ඇත්තම ස්වරූපය වෙන්නේ. ක්‍රීඩකයෙක් කියන්නේ ගොඩාක් මහන්සි වෙන කෙනෙක්. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් දවසට පැය 8ක්වත් පුහුණුවීම් කරනවා. මේක ඒගොල්ලන්ගේ වෘත්තිය.”

 

 

“අපි මේ කාලයේදී සයිකැට්‍රිස්ට්ලාට කතා කරනවා, මෙන්ටර්ස්ලට කතා කරනවා. දික්වැල්ල දැන් hr management leadership කියන ඩිප්ලෝමා එකත් කරලා තියෙන්නේ. ඒකේ රිසාල්ට් ආපු ගමන් ඔහු ඩිග්‍රි එකත් කරන්න පටන් ගන්නවා. අපි ඔක්කොම සූදානම් කරලා තිබුණේ මාසයක් පමණ ට්‍රේනින් එකකට ඕස්ට්‍රේලියාවේ යන්න. නමුත්, දික්වැල්ල තීරණයක් ගත්තා LPL එක ගහලා කොහොම හරි දස්කම් දක්වන්න අවශ්‍යයි කියලා. ඉතින් එයාගේ තියන දක්ශතාවයන් එක්ක, ඔහුගෙන් උපරිමයෙන් රටට සේවයක් අරගෙන තරඟ දිනවලා හොඳ මනුස්සයෙක් විදියට සමාජගත කරවන එක තමා ප්‍රධානයෙන්ම අපි කරන්නේ.”

 

 

නිරෝශන් දික්වැල්ල විසින් ක්‍රීඩාවේදී පුහුණුවීම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, ඔහු විසින් පවසා සිටියේ තමන් කරන දේ කොටියට කරොත් තමාට ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

“මම ස්කෝලේ ක්‍රිකට් ගහන කාලෙත් ගොඩාක් ප්‍රැක්ටිස් කරා. නමුත් ක්ලබ් ලෙවල් එකට ආවට පස්සේ මම දෙයක් තේරුම් ගත්තා අපි දෙයක් කරන කාළය නෙමේ, කොලිටියට කරන දේ තමයි ගොඩාක් වටින්නේ කියලා. අපි කරන දේ හරියටම කරොත් තමයි අපිට ඒකෙන් දෙයක් ගන්න පුලුවන්. එහෙම නැතුව ප්‍රැක්ටිස් කරන කොට කාටහරි පේන්න, අරමුණක් නැතුව තව ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා කරලා වැඩක් නැහැ. පොඩි අයට මම දෙන අවවාදය තමයි කරන දේ හරියට කොලිටිය කරන්න උත්සහ කරන්න කියලා.

 

 

මීට මාස 5කට පෙර නිරෝශන් දික්වැල්ල සමඟින් කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට ප්‍රේක්ෂකයන් විසින් අපහාස, බැනිම් සිදුකරන අතර, මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ට කළ හැකි එකම දේ අන් ක්‍රීඩකයින්ට බනින එක පමණක් බවයි.

“ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩාකරන කාලය කියන්නේ ඔහුගේ වෘත්තිය ජීවිතය. ඒක සමහර විට එක අවුරුද්දක් දෙකක් වෙන්නත් පුලුවන්, හොඳට ගියොත් සමහර විට අවුරුදු 10ක් 15ක් වෙන්නත් පුලුවන්. නමුත් ප්‍රේක්ෂකයන් විදියට එලියේ ඉදන් අපිට කරන්න පුලුවන් එකම දේ බනින එකනේ. කෑවත් බනින්න පුලුවන්, බිව්වත් බනින්න පුලුවන්. තමන් අකමැති ක්‍රීඩකයානම් ඔහු ලකුණු ගැහුවත් බනින්න පුලුවන්. ඒගොල්ලෝ මේ ක්‍රීඩාව කරපු නැති නිසා තමා ඒ විදියට බනින්නේ.”

 

 

“ඔයාටත් පහුගිය කාලය පුරාවටම ඒ වගේ දේවල් වුණා. ඒවා ගැන හිතලා වැඩක් නෑ. මොකද අපිට බනින්නේ කවදාවත්ම බෝලයක්වත් අල්ලලා නැති අය. සමහර විට ඔවුන් එක්කම රැල්ලට තව එක්කෙනෙක් දෙන්නෙක් බනින්න පුලුවන්. නමුත් එයා, හෝ එයාගේ මල්ලි කෙනෙක්, අයියා කෙනෙක් හරි මේ ක්‍රීඩාවක නිරත වුනොත් අන්න එදාට තේරෙයි මේ වගේ ක්‍රීඩකයින්ට අපි බනින එක හරිද වැරදි ද කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *