නිරෝශන් දික්වැල්ල වසර 2කින් එක්දින තරඟයක් ක්‍රීඩා කරලා නැහැ.
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු නිරෝශන් දික්වැල්ල මෙවර බංගලාදේශයට එරෙහිව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සචිතයට ඇතුළත් වුවද, පලමු තරඟ දෙකේදී නිරෝශන් දික්වැල්ල හට කණ්ඩායමේ අවස්ථාවක් හිමිවූයේ නැත.

මෙම වසරේ ටෙස්ට් පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් තෙවෙනියට වැඩිම ලකුණු ලාභියා වන නිරෝශන් දික්වැල්ල හට එක්දින පිටියේ අවස්ථාවක් හිමි නොවන්නේ ඔහු අසාර්ථක නිසා නොව කණ්ඩායමේ සමබරතාවය ගැන සැලකීමේදී දික්වැල්ල හට අවස්ථාවක් හිමි නොවීම නිසා බව නව නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කරයි.
නිරෝශන් දික්වැල්ල අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ මාර්තු මස 10 වෙනි දින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවතී තරඟයේදී වේ. ඉන් පසුව වසර දෙකකට අධික කාලයක් දික්වැල්ල හට එක්දින කණ්ඩායමේ අවස්ථාවක් හිමි වී නැත.
නිරෝශන් දික්වැල්ල අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 15 දී ලකුණු 497ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර ඉනිමක ලකුණු 33.13 සාමාන්‍යයක් රඳවාගෙන සිටී. අවසන් එක්දින 15 දී අර්ධ ශතක 4කට හිමිකම් කියන කඩුලු රැකීමෙන්ද කඩුලු 13ක් ලබාගැනීමට දායකත්වය ලබා දී ඇත.
කෙසේ නමුත් බංගලාදේශයට එරෙහිව පලමු තරඟ දෙක පරාජය වීමෙන් අනතුරුව අද (28) පැවැත්වෙන අවසන් එක්දින තරඟයේදී දික්වැල්ල හට කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවට ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් කර ඇත.