නිරෝශන් දික්වැල්ල හා ලහිරු උදාරගේ ශතක හේතුවෙන් මහනුවර කණ්ඩායමට විශිෂ්ට ජයක්.

(දික්වැල්ලගේ වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 නැශනල් සුපිර් ලීග් එක්දින තරඟාවලියේ 19 වන තරඟය ලෙස අද (16) පැවතී නුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 66ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම සමත් වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නුවර කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් හොඳ ආරම්භයක් ලබාගනිමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 343 ක් ලබාගැනීමට සමත්විය.

නුවර කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල පන්දු 104කදී හතරේ පහර 17ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 135ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නිරෝශන් දික්වැල්ල හට අනගි සහයක් ලබාදෙමින් ලහිරු උදාර ද, ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 116කට මුහුණදෙමින් හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු ප්‍රමාණය 106ක්. ඉනිම අවසානයේදී නායක කමිඳු මෙන්ඩිස් ද, පන්දු 41කදී ලකුණු 58ක් රැස් කරගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ චලන ද සිල්වා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 38කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව ප්‍රියමාල් පෙරේරා ලකුණු 51කට එක් කඩුල්ලක්, දනංජය ලක්ශාන් ලකුණු 58කට එක් කඩුල්ලක් හා නායක අකිල ධනංජය ලකුණු 74කට එක් කඩුල්ලක් බැඟින්ද දවාගැනීමට සමත් වුණා.

 

 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී ගාල්ල කණ්ඩායමට පන්දුවාර 47.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 277ක් පමණි.

එහිදී ගාල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කවිශ්ක අන්ජුල පන්දු 71කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 90ක් රැස්කරගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, විශාඩ් රන්දික පන්දු 66කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 49කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී අශාන් ඩැනියල් ලකුණු 46කට කඩුලු 4ක් හා, පුලින තරංග ලකුණු 35කට කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 2ක් හා නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 38කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව, ගාල්ල කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරමින් නුවර කණ්ඩායම තරඟය ලකුණු 66කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ශතකයක් ලබාගත් නිරෝශන් දික්වැල්ල වේ.

නිරෝශන් දික්වැල්ල ශතකය ලබාගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *