පකිස්තානය කඩුලු 3ක් පමණක් ඉතිරිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් පිටුපසින්.

 (වීඩියෝ පහළින් නැරඹිය හැක) පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පලමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (25) අවසන් වූ අතර, දිනය අවසානයේදී තරඟයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

පලමු දිනය අවසන් වන විට පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාසිටි අතර, අද දින ශ්‍රී ලංකා පලමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 378ක් ලබාගැනීමට සමත්වුණා.

ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද දින පලමු කඩුල්ල ලෙස ලකුණු 11කට දැවීගිය අතර, නිරෝශන් දික්වැල්ල විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 54කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.

 

 

නිරෝශන් දික්වැල්ල අද ලබාගත් අර්ධ ශතකය, ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 22 වන අර්ධ ශතකයයි.

දුනිත් වෙල්ලාලගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසී රමේෂ් මෙන්ඩිස් පන්දු 52කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, ප්‍රබාත් ජයසූරිය ලකුණු 8ක් හා අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 4යි.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Naseem Shah පන්දුවාර 21ක් අවසානයේදී ලකුණු 58කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Yashir Shah ලකුණු 83කට කඩුලු 3ක් ද,  Mohammed Nawaz කඩුලු 2ක් හා Nauman Ali එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

 

 

ඉන්අනතුරුව පකිස්තාන කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භ කළ අතර, පකිස්තාන ඉනිමේ පලමු කඩුල්ල ලෙස Abdullah Shafique ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්විය.

 

 

පසුව Imam-ul-haq සමඟින් එක්ව බාබර් අසාම් දෙවන කඩුල්ල සඳහා ලකුණු 35ක සබඳතාවක් ගොඩනැගූ නමුත්, ප්‍රබාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් බාබර් අසාම් දැවීයාමට ලක්වුණා.

 

 

දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් අද දින කණ්ඩායම මෙහෙය වූ දනංජය ද සිල්වා, පකිස්තාන ඉනිමේ 3 වන කඩුල්ල ලෙස Imam-ul-haq දවාගත් අතර, Mohammed Rizwan ව දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වුණා.

වසර ගණනකට පසු නැවතත් පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කිරීමට ලැබුණු Fawad Alam පන්දු 69කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබාගත් අතර, Mohammed Nawaz හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.. එම කඩුලු දෙකම ලබාගැනීමට හැකිවූයේ රමේෂ් මෙන්ඩිස් වේ.

 

 

පකිස්තාන ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින්, අර්ධ ශතකයක් ලබාගැනීමට Agha Salman සමත්වූ අතර, දිනයේ අවසන් කඩුල්ල ලෙස ප්‍රබාද් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවීයන විට ඔහු පන්දු 126කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා. මෙම අර්ධ ශතකය ඔහුගේ මංගල අර්ධ ශතකයයි.

 

 

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 18ක් අවසානයේදී ලකුණු 42කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ප්‍රබාත් ජයසූරිය ලකුණු 59කට කඩුලු 2ක් හා අසිත ප්‍රනාන්දු , දනංජය ද සිල්වා ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

 

 

මේ වන විට පකිස්තාන කණ්ඩායම තවත් කඩුලු 3ක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 187ක් පසුපසින් සිටින අතර, හෙට (26) තරඟයේ තුන්වන දිනයයි.

 

රමේෂ් මෙන්ඩිස් ඇතුළුව පන්දුයවන්නන් ලබාගත් කඩුලු (වීඩියෝ)

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *