පලමු විස්සයි විස්ස තරඟයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 20ක ජයක්. (වීඩියෝ සහිතයි)

 

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟය ලෙස අද (11) පැවතී තරඟයෙන් ලකුණු 20ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුවන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Ben McDermott පන්දු 41කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, Marcus Stoinis පන්දු 17කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් හා Josh Inglis පන්දු 18කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගත් නමුත්, අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නෙ නැහැ.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 38කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය පිතිකරුවන් වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක් වන Aaron Finch, Glenn Maxwell හා Steven Smith වේ.

 

ඊට අමතරව බිනුර ප්‍රනාන්දු පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 12ක් පමණක් ලබාදී කඩුලු 2ක් ලබාගත් අතර, දුශ්මන්ත චමීර ලකුණු 38කට කඩුලු 2ක් හා චාමික කරුණාරත්න ලකුණු 22කට කඩුලු 2ක් ද දවාගැනීමට සමත්විය.

 

අනතුරුව ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි. (වර්ෂාව හේතුවෙන් පන්දුවාර 19කදී ශ්‍රී ලංකාවට ලකුණු 142ක් ලබාගැනීමට අවශ්‍ය විය)

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 37කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් පන්දු 16කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 19කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩක Josh Hazlewood විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 12කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Adam Zampa ලකුණු 18කට කඩුලු 3ක් හා Pat Cummins ද ලකුණු 32කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

ඒ අනුව පලමු විස්සයි විස්ස තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 20ක ජයක් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 18කට කඩුලු 3ක් දවාගත් Adam Zampa වේ.

වනිඳු හසරංග ලබාගත් කඩුලු තුන, චාමික කරුණාරත්න ලබාගත් කඩුලු 2 හා දසුන් ශානක රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝ මෙන්න) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *