පෙර තරඟය හා පැවැත්වීමට නියමිත තරඟය සම්බන්ධයෙන් නායකයා දැක්වූ අදහස්,
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය හෙට (12) ආරම්භ වීමට නියමිත වන අතර, අද දින (11) ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පහුගිය තරඟය හා පැවැත්වීමට නියමිත තරඟය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.
ප්‍රථමයෙන්ම, පෙර තරඟය අතරතුරේදී ආබාධයකට ලක්වූ ලහිරු කුමාර හා පුහුණුවීම් අතරතුරේදී ආබාධයකට පක්වූ පැතුම් නිස්සංක වෙනුවට ක්‍රීඩාකරවන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න තවම තීරණය කළ නොමැති බවත් අද පස්වරුවේ තණතිල්ලේ ස්වාභාවය අධ්‍යනය කිරීමෙන් අනතුරුව එය තීරණය කරන බව ඔහු පවසා සිටියා.
“පලමු තරඟය ක්‍රීඩා කළ පැතුම් නිස්සංකයි, ලහිරු කුමාරයි ආබාධයකට ලක්වෙලා තියනවා. ඔවුන් වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුද කියලා අපි තවම තීරණය කරලා නැහැ. දෙවන තරඟය දිවා රාත්‍රි තරඟයක් නිසා රෑ වෙන කොට තණතිල්ලේ හැසිරීම ගැන අද තීරණයක් අරගෙන තරඟය ක්‍රීඩා කරන අවසන් 11 දෙනා කවුද කියලා තීරණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ.”
“විකට් එක ගොඩක්ම ස්පින් බෝලර්ස්ලට සුදුසු තණතිල්ලක් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙන්නෙක් එක්ක ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”
පසුගිය කාලය පුරාවටම හොඳින් පන්දු යැවූ දුශ්මන්ත චමීර ලෝක කුසලානය සඳහා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තරඟයට ක්‍රීඩා නොකරන බව ද දිමුත් කරුණාරත්න පවසා සිටියා.
“දුශ්මන්ත චමීරව දෙවෙනි තරඟයට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වුනත් අපිට මෙඩිකල් පැනල් එකෙන් කියලා තියනවා ඔහුට විවේකයක් ලබාදෙන්න කියලා. දුශ්මන්ත චාමීරගේ පොඩි ආබාධ තත්වයක් තියන නිසාත් ලෝක කුසලානය වෙනකන් සීමිත පන්දුවාර තරඟ වලට විතරක් යොදාගෙන්න කියලා අපිට කියලා තියනවා. ඒ නිසා මම හිතන්නෑ චමීරව අපිට දෙවන තරඟට ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි කියලා.”
පලමු තරඟයේදී ඉන්දීය ලකුණු පුවරුවේ විශාල ලකුණු සංඛ්‍යාවක් තිබුණු බැවින් ඔවුන් බයක් නැතුව දිගටම ශ්‍රී ලංකා පිතිකරුවන් හට අභියෝගයක් එල්ල කරමින් පන්දු යැවූ නිසාවෙන් ඔවුන්ට ලකුණු ලබාගැනීමට අපහසු වූ බවයි නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ.
“අපි ගොඩාක්ම ඇටෑකින් මූඩ් එකේ තමයි හිටියේ. ඒ විකට් එකේ ක්‍රීඩා කරන්න ලේසි දෙයක් නෙමේ. ඔවුන්ගේ ස්පිනර්ස්ලා ගොඩාක් හොඳට පන්දු යැව්වා. ඔවුන්ගේ ලකුණු පුවරුවේ ලකුණු 500කට වඩා තිබුණ නිසා හැමවෙලාවෙම ඔවුන් අපිව ඇටෑක් කරා. ඒ නිසා තමයි අපිට ගොඩාක්ම ලකුණු ලබාගන්න අමාරු වුණේ.
සමහර විට ඊලඟ තරඟය ගොඩක් වෙලාවට වෙනස් වෙයි. අපේ පිතිකරුවන් ලබාගන්න ආරම්භය ලොකු ඉනිමකට යන්නෙ කොහොමද කියලා බලන්න ඕනේ. ඒ විදිහට ක්‍රීඩා කළහොත් මම හිතනවා අපිට 300ක් 350ක් පමණ ලබාගන්න පුලුවන් වෙයි කියලා. ”
“පලවෙනි තරඟයේ ස්පින් බෝලර්ස්ලා අපේ විකට් ගත්තට ගොඩක් වෙලාවට අපි වැරදි පහරවල් වලින් තමයි අවුට් වුණේ. ජඩේජාගේ ලොකු දඟකැවීමක් තිබුණත් අශ්වින්ගේ ලොකු දඟකැවීමක් තිබුණේ නැහැ. මම කලින් කිව්වා වගේ ඔවුන්ට ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණ නිසා ඔවුන් ෆීල්ඩර්ස්ලා ලඟ තියාගෙන දිගටම අපිට ඇටෑක් කරා.
ඒ වෙලාවෙ අපි බැලුවේ ඔවුන්ට ඇටෑක් කරලා ෆීල්ඩර්ස්ලව පිටිපස්සට යවන්න. දනංජය ද සිල්වා, චරිත් අසලංක දැවී ගියේ ඔවුන්ට ඇටෑක් කරන්න ගිහිල්ලා. මම හිතනවා මීලඟ තරඟයේ අපිට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා.”
ආරම්භක වීමට නියමිත මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරඟය වන බැවින් ඔහු වෙනුවෙන් 200%ක්ම තරඟය වෙනුවෙන් ලබාදීලා ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු බවට දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරා.
“සුරංග ලක්මාල්ට අපිට කරන්න පුලුවන් එකම දේ හොඳ සමුගැනීමක් ලබාදෙන එක. ඒකට ක්‍රීඩකයින් ගොඩාක් මහන්සි වෙනවා. අපි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ නිකන් තරඟයක් ක්‍රීඩා කරලා යන්න නෙමේ. අපි තරඟයක් ජයග්‍රහණය කරලා මීට කලින් අපේ කවුරුත් කරලා නැති දෙයක් කරන්න තමයි පුලුවන් තරම් උත්සාහ කරන්නේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ.
අපි පලවෙනි දවසේ ඉදන් දවස් 5ටම ප්ලෑන් ගහලා තියෙන්නේ. නමුත් අපි ක්‍රීඩා කරන කොට ඒ ප්ලෑන් වලට අනුව ක්‍රීඩාකරන්න බලන්න ඕනේ. අපි හැමෝම 200%ක්ම මෙම තරඟය වෙනුවෙන් ලබාදීලා සුරංගට හොඳ සමුගැනීමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”
සුරංග ලක්මාල් සමුගත් පසු ඔහු වෙනුවට, ඔහුගේ දක්ශතා වලට සමානව ක්‍රීඩා කිරීමට සුදුසු වේගපන්දු යවන්නෙක් තවමත් නැති බවටයි දිමුත් කරුණාරත්න පවසා සිටියේ.
“සුරංග ලක්මාල්ගේ තැන ලබාගැනීමට තවත් පන්දු යවන්නෙක් ඉන්නවා කියලා මම දකින්නෙ නැහැ. දුශ්මන්ත චමීර සිටියත් ඔහුව මැනේජ් කරමින් ක්‍රීඩා කරවන නිසා ඔහුව ටෙස්ට් තරඟ සඳහා යොදාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ලහිරු කුමාර , අසිත ප්‍රනාන්දු , කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් ඉන්නවා. අපි බලන්න ඕනේ ඒගොල්ලොන්වත් සුරංග ලක්මාල් හිටපු තැනට ගේන්නේ කොහොමද කියලා. ඒ දේ කරන්න අපිට ගොඩාක් 4 day ක්‍රිකට් තරඟ අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට ගොඩාක් 4 day , 3 day තරඟ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබාදෙයි කියලා.”