පෞද්ගලික නො. 3 ගහන්න කැමති වුණත්, කණ්ඩායමේ අනුකුත් ක්‍රීඩකයින් නිසා අංක 5 ගහන්න සිදුවෙනවා – භානුක

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් විස්සයි විස්ස තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් තරඟය පිලිඹඳ අදහස් දක්වා සිටියා.

එහිදී පලමු වශයෙන් භානුක රාජපක්ෂ, මෙම ජයග්‍රහණ පිළිඹඳව අදහස් දැක්වූයේ මෙම ජයග්‍රහණය, ඉදිරියේදී අපට ක්‍රීඩා කිරීමට තිබෙන අනෙකුත් තරඟ වලට ලොකු විශ්වාසයක් ඇතිවීමට හේතු වන බවයි.

 

 

“අපි සෑම තරඟයක්ම ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන්. අපි පල්ලේකැලේ ගොඩාක් දිනලා තියනා. කෙත්තාරමයේ ඉදන් පල්ලේකැලේට ආවට පස්සේ පොඩි වෙනසක් ඇති වුණා. ජයග්‍රහණයට අපේ ක්‍රීඩකයින්ට ලොකු හයියක්. මොකද, ඉදිරියේදී තව එක්දින තරඟ 5ක් තිබෙනවා. ආසියා කුසලානය එනවා, ලෝක කුසලානය එනවා. මම හිතන්නේ මේ ජයග්‍රහණය එක්ක අපේ ක්‍රීඩකයින්ට ලොකු විශ්වාසයක් ඒවි.”

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

භානුක රාජපක්ෂ මෙම තරඟයේදි අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළ අතර, ඔහු අංක 5 ක්‍රීඩා කිරීමේදී අසාර්ථක වන බැවින්, අංක 3 ස්ථානය නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකුගෙන් නැඟුන ප්‍රශ්නයකට ඔහු ප්‍රකාශ කර සිරියේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් එක්ක බලන කොට තමාට අංක 5 ක්‍රීඩාකිරීමට සිදුවන බවයි.

“අපි තීරණ ගන්නේ කණ්ඩායමේ සිටින අනෙකුත් ක්‍රීඩකයින් එක්ක බලලා. කණ්ඩායමේ බැලන්ස් එක රඳාවාගන්න අපිට අවශ්‍ය වෙනවා. අපි දැක්කා චරිත් අසලංක ලෝක කුසලානයේදී නො. 3 ඇවිල්ලා හොඳින් ක්‍රීඩා කළා. මම පෞද්ගලිකව නො.3 ක්‍රීඩා කරන්න කැමති වුණාට අපේ කණ්ඩායමේ සමබරතාව රැකගන්න ඕන නිසා තමයි වෙනස්කම් සිදුකරේ නැත්තේ. කොහොම උනත්, නො.1 ඉදන් නො.5 දක්වා ඕනෑම තැනක ගහන්න මම ලෑස්තියි.”

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

භානුක රාජපක්ෂ අද දින අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීමට ගිය අතර, එහිදී වෙනදා මෙන් නොව තරමක් ආරක්ෂා වෙමින් පන්දුවට පහ‍රදෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා. එයට හේතුව ලෙස නායකාගෙන් හෝ පුහුණුකරුවන්ගෙන් ඔහුට උපදේශයක් ලැබුනා ද යන්න මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට භානුක පිලිතුරු ලබාදෙන්නේ මෙලෙසින්,

 

“මම නො.4 ගහන්න ගියාම පොඩ්ඩක් ඉදලා ගහන්න තමා මට අවශ්‍ය වෙලා තිබුණේ. දසුන් ශානකගේ ඉදන්, පුහුණුකරු දක්වාම අපිට නිදහස දීලා තියනවා අපිට ඕන විදියහට ක්‍රීඩා කරන්න. අපිට දැන් තරුණ ක්‍රීඩකයින් කියලා කියන්නත් බැහැ. දැන් අත්දැකීම් අරගෙන අපි අනිත් කණ්ඩායම් වල වගේ තැනකට ඇවිත් තිබෙනවා. මම හිතන්නේ මේ තියෙන්නේ වගකීමෙන් අපි සෙල්ලම් කරන්න ඕනේ කාලය කියලා.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

තුන්වන තරඟය අවසානයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නායක දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබූ ජයක් ලබාදුන් අතර, ඔහුගේ ඉනිම ආරම්භයේදී පන්දු 11ටම ලකුණු 3ක් පමණක් ලබාසිටින අවස්ථාවේදී කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට දැනුන දේ හා දසුන්ගේ විශිෂ්ට ඉනිම ගැන භානුක අදහස් දක්වා සිටියා,

 

“ඒක අතිවිශිෂ්ඨ ඉනිමක්. අපි දන්නවා එයා තරඟ දිනවන්නෙක් කියලා. එයාගේ ආරම්භකක කාලයේ ඉදන්ම බැලුවාම පේනවා තරඟ 3, 4ක් වගේ දිනවලා තියනවා. විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරද්දී හැමදාම ලකුණු ගහන්න අමාරුවෙනවා. හැබැයි ගහන දවසට අපේ ප්ලෑන් එක තමයි ගහන කෙනා ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න. දසුන් විශිෂ්ට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරලා අපිව ජයග්‍රහණය කරා ගෙන ගියා. ”

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

“ඔහු පන්දු 11කදී ලකුණු 3ක් ලබාසිටියදී ඇත්ත වශයෙන්ම අපිට පීඩනයක් ආවා. මොකද අපිට ජයග්‍රහණයට ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණ නිසා. නමුත් අපි දැනගෙන හිටියා දසුන් ශානක ඕවර් 20 බැට් කරොත් කොහොමහරි තරඟය දිනාවි කියලා. මොකද ඔහුට ලොකු ටැලන්ට් එකක් තියනවා ඒ විදියට හයේ පහරවල් ගහන්න.”

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

පලමු තරඟ දෙකම පලමුව පන්දුවට පහරදී පරාජයට පත්වූ අතර මෙම තරඟයේදී දෙවැනියට පන්දුවට පහරදීම තරඟයේ ජයග්‍රහණයට හේතුවූවා ද යන්න ඇසූ ප්‍රශ්නයට භානුක රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ටාගට් එකක් තිබියදී පන්දුවට පහර දීමට තරමක් පහසු බවයි.

 

“ඒක හරියටම කියන්න අමාරුයි. නමුත් විස්සයි විස්ස තරඟ වලදී ගොඩක් වෙලාවට අපිට ටාගට් එකක් තියෙන්නේ ඒක බලලා ගහන්න පුලුවන්. මම හිතන්නේ විකට් වල තමයි ලොකුම බලපෑම තියෙන්නේ. විකට් එක හොඳ වෙද්දී බැට්ස්මන්ලා වගේම බෝලර්ස්ලාත් ඉගෙන ගන්නවා. T20 වුනාම අනිවාර්යයෙන්ම ලොකු ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි. ඒගොල්ලොත් ලකුණු 176ක් ගහලා අපි තරඟය දින්නේ විකට් එක හොඳ නිසා කියල කියන්න ඕනේ.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

T20 තරඟාවලියෙන් අනතුරුව එක්දින තරඟාවලිය ආරම්භ වන අතර, එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය වෙත තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දුනිත් වෙල්ලාලගේ හා ප්‍රමෝද් මදුශාන් කැඳවා තිබෙනවා. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් භානුක රාජපක්ෂ දැක්වූයේ මෙවන් අදහසක්,

“දුනිත් හා ප්‍රමෝද් කියන්නේ ලොකු ටැලන්ට් එකක් තියන ක්‍රීඩකයින් දෙදෙනෙක්. ප්‍රමෝද් මල්ලී මාත් එක්ක LPL එකේදී සෙල්ලම් කළා. දුනිත්ව Under 19 සෙල්ලම් කරනවා මම දැකලා තියනවා. ඔහුට ලොකු අනාගතයක් තියනවා. පොඩි වයසින් ටැලන්ට් එකක් දැක්කාම එයාලව ඉන්ටනැශනල් ගහන්න ගෙන්වන එක හොඳ දෙයක්. තරඟ සෙල්ලම් කරයි ද කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි දෙන්නගෙන්ම හොඳ සේවයක් අපිට ලබාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.”

 

(Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

 

කාලයකට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සංචිතයක් සඳහා භානුක රාජපක්ෂ නැවතත් නම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පලමු වශයෙන් දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන බවද පවසා සිටියා.

 

“මෙම තරඟාවලිය මට ලැබුණු එකට මම මුලින්ම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. මම දෙවියන් වහන්සේව ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. කිව්වා වගේම මට අවුරුද්දකින් තමා නැවතත් එක්දින තරඟ වලට එන්න ලැබුණේ. ගේම් ප්ලෑන් එක වෙනස් කරන්න වෙයි. හැබැයි මම මගේ බැටින් ස්ටයිල් එක වෙනස් කරන්නේ නැහැ. මොකද මම මගේ ටැලන්ට් එක ගැන ලොකුවට විශ්වාස කරන කෙනෙක්. සිටුවේශන් එක අනුව සමහර අවස්ථාවලදි වෙනස් වෙන්න වෙයි. කොහොම වුනත් හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න ලැබේවි කියලා මම හිතනවා.”

 

(Photo by Isuru Sameera/Gallo Images/Getty Images)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *