බානුක රාජපක්ෂ තරඟයක් වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් – දසුන් ශානක

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් සිදුවූ වැරදි, බානුක රාජපක්ෂ හා දනන්ජය ද සිල්වා සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“අපිට විස්සයි විස්ස තරඟ වලදී මීට වඩා ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුයි. එක්දින තරඟාවලියෙන් පස්සේ විස්සයි විස්ස තරඟාවලියට ආවට පස්සේ අපේ පිතිකරුවන්ගේ පසුබෑමක් තිබුණා. තරඟ තුනම අපි බෝලේ කැපෙන විකට් වල සෙල්ලම් කලේ. මම හිතනවා අපේ ස්පිනර්ස්ලට වඩා හොඳට ඒගොල්ලන්ගේ ස්පිනර්ස්ලා හොඳින් පන්දු යැව්වා. ඔවුන් අපේ පිතිකරුවන්ට සුපුරුදු රිද්මයට පැමිණීමට අවස්ථාවක් ලබා දුන්නෙම නැහැ.”

මෙම තරඟාවලියේදී තරඟයෙන් තරඟයට ක්‍රීඩකයින් මාරු කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ එලෙස ක්‍රීඩකයින් මාරු කළ සිටියේ අත්හදාබැලීම් සිදුකරගැනීම සඳහා බවයි.

අපි ඕමාන් තරඟාවලියට යන කොට හොඳම 11 දෙනා ක්‍රීඩා කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟවලදිත් අපි එකම කණ්ඩායම ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නවා. අපි තරඟ තුනේදී ක්‍රීඩකයින්ව මාරු කළේ අත්හදාබැලීම් කරන්න. නමුත් ඉදිරියේදී අපි එකම ක්‍රීඩකයින්ගෙන් තරඟ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් රෝගය වැළඳිලා ඉදලා තමයි නැවතත් කණ්ඩායමට එකතු වුණේ. ඔහුට පලමු තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වුණ නිසා අපිට තරඟවලදී එකම ක්‍රීඩකයින්ව සෙල්ලම් කරවන්න ලැබුණේ නැහැ.

මේ අතර පහුගිය ලීග් තරඟාවලියේ හොඳින් දස්කම් දැක්වූ නායක දසුන් ශානක මෙම තරඟාවලියේදී පිතිකරුවෙක් ලෙස පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසක්.

“අපි ඩොමෙස්ටික් තරඟාවලියේ ක්‍රීඩා කළේ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ. එහෙ විකට් විස්සයි විස්ස තරඟ වලට සුදුසුයි. කෙත්‍තාරාමෙදී අපි එක්දින තරඟාවලියත් ජයග්‍රහණය කරලා, ස්පිනර්ස්ලට සුදුසු විකට් හදලා චැලේන්ජ් කරන්න හැදුවේ. නමුත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් හොඳින් පිතිකරණයේ යෙදුණා. ඔවුන් අයි.පී.එල් වගේ තරඟාවලි ක්‍රීඩා කරලා හොඳ අත්දැකීම් තියන පළපුරුදු ක්‍රීඩකයින්. පල්ලෙකැලේදී මම හොඳ ෆෝම් එකේ හිටියා. නමුත් මේ විකට් එකේදි මගේ බැට් එකට බෝලේ ආවා අඩුයි.”

බානුක රාජපක්ෂ සම්බන්ධයෙන් නායක දසුන් ශානක කළ ප්‍රකාශය.

“බානුක රාජපක්ෂගේ මේ තරඟාවලියේදී මම බලාපොරොත්තු වුණ දේ ලැබුණේ නැහැ. නමුත් මම දන්නවා ඔහු මොන වගේ ක්‍රීඩකයෙක් ද කියලා. අපි හැමෝම දන්නවා ඔහුට විස්සයි විස්ස තරඟයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් කියලා. ඔහු ඉදිරියේදී හොඳින් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.”

ශ්‍රී ලංකා උපනායක දනන්ජය ද සිල්වා සම්බන්ධයෙන් දසුන් ශානක කළ ප්‍රකාශය පහළින්.

දනන්ජය ද සිල්වා අන්තිමට පැවතී ඉන්දීය තරඟාවලියේදී හොඳින් ක්‍රීඩා කළා. ඔහු දිගටම නම්බර් 4 ක්‍රීඩා කළේ. තුන්වන විස්සයි විස්ස තරඟයේ විතරක් නම්බර් 03 ක්‍රීඩා කළා. ක්‍රීඩකයෙක් එක තරඟාවලියක අසාර්ථක වුණා කියලා ඒ ක්‍රීඩකයා නරක ක්‍රීඩකයෙක් කියලා කියන්න බැහැ. අපි ක්‍රීඩකයින්ගේ වුණ වැරදි කතා කරනවට වඩා ඉදිරියේදී වෙන්න ඕන දේවල් ගැන කතා කරලා ඉදිරියේදී හොඳ ගමනක් යන්න ඕනේ කියලා මම හිතනවා.

අවසානයේදී ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රීකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන්, දසුන් ශානක ලසිත් මාලිංග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළා.

ලෝකේ බිහිවුණ හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා තමයි ලසිත් මාලිංග. මම ක්‍රීඩකයෙක් විදියට මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළෙත් ඔහුගේ නායකත්වය යටතේ. ඔහුගේ ක්‍රිකට් වලට වුණ සේවය ඉතාමත් අගය කළ යුතුයි. මොකද, ඒ වගේ ක්‍රීඩකයින් මුළු ලෝකෙටම බිහිවෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. අපේ සියලුම ක්‍රීඩකයින් ඔහුට ලොකු ගරුත්වයක් තියනවා. ඔහු හැමවෙලාවෙම අපේ ක්‍රීඩකයින්ට හොඳ උපදෙස් ලබා දුන්නා. මම හිතනවා ඉදිරියටත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවයක් ලබාදෙයි කියලා.

වෙනස් වුණ, විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය මෙන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *