භානුක රාජපක්ෂගේ අඩුව කණ්ඩායමට හොඳටම දැනුනා – දුශ්මන්ත චමීර

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් විය.


එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර පන්දුවාර 4 තුළ ලකුණු 24ක් පමණක් ලබා දී කඩුලු 2ක් ලබාගැනීමට සමත් විය. තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහුගේ මෙම දක්ශතාවය ගැන ඔහු විසින් අදහස් දැක්විය.


මුලින්ම කියන්න ඕනේ මට දක්ශතා දැක්වීමට හැකිවීම සම්බන්ධයෙන් මම ගොඩාක් සතුටු වෙනවා. පහුගිය අවුරුදු වල මට ආබාධ තත්වයන් තිබුණා. ඒ ආබාධ සියල්ල සුව කරගනිමින් මම දැන් එකදිගට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. මේක තමා මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම කාලය. මට අවශ්‍ය කොහොම හරි කණ්ඩායම වෙනුවෙන් එකදිගට ක්‍රීඩා කරලා තරඟ දිනවන්න.

(Photo by Pat Elmont – ECB/ECB via Getty Images)

ඉන්දීය ප්‍රිමියර් ලීග් අත්දැකීම් ඇති ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 164කට සීමා කිරීමට හැකි වීම සම්බන්ධයෙන් චමීර විසින් ප්‍රකාශ කර සිටියේ ඔහුන් වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් බැවින්, ඔවුන්ට ස්ලෝව් බෝල් හා යෝකර් පන්දු වැඩි ප්‍රමාණයක් යොමු කර පිතිකරුවන්ව පාලනය කල බවයි.

“ඉන්දීය කණ්ඩායම එක්ක බැලුවාම ඒගොල්ලන්ව ලකුණු 164කට සීමා කරා කියන්නේ ඒක ලොකු දෙයක්. අපිට ඒක හඹාගෙන ගොස් තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් ලකුණු සංඛ්‍යාවක්. ඉන්දීය කණ්ඩායමේ වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් සිටිය නිසා අපි ස්ලෝව් බෝල් යවලා, යෝකර් පන්දු ‍යවලා තමයි ඒගොල්ලන්ව ලකුණු 164කට සීමා කළේ.”


කෙසේ නමුත් මෙම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ අවසානයේදි පරාජයට පත්විඋනට සිදුවූ අතර, පිතිකරණයේ දී සිදු වූ අඩුපාඩු සම්බන්ධයෙන් චමීර විසින් දැක්වූයේ මෙවන් අදහසක්.

“අපි පන්දුවට පහර දීමේදී හොඳ ආරම්භයක් ලබාගත්තා. පවර් ප්ලේ අවස්ථාවේ එක් කඩුල්ලකට ලකුණු 44ක් වැනි සංඛ්‍යාවක් ලබාගත්තා. නමුත් දෙවන කඩුල්ල දැවී ගියාට පස්සේ ලකුණු ලබාගැනීමේ වේගය අඩු වුණා. මැද පන්දුවාර වලදී හතරේ පහරවල් වගේම එක ලකුණද ලබා ගැනීමට නොහැකි වීම නිසා තරඟය පරාජයට පත් වීමට සිදු වුණා.”

 (Photo by Randy Brooks / AFP) (Photo by RANDY BROOKS/AFP via Getty Images)

“ඉන්දියා කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කරලා හොඳ අත්දැකීම් තියනවා. නමුත් අපි තවම ඒ තත්වයට ඇවිල්ලා නැහැ. නමුත් මම හිතනවා ඊලඟ තරඟ අපිට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා. මොකද, අපි සීරිස් තුනක් විතර එක දිඟට අපේ බෝලින් හොඳටම කරලා තියනවා. බැටින් වලත් අපි යම් තරමින් වැඩිදියුණු වෙලා තියනවා කියලා එක්දින තරඟාවලියේදී පෙන්නුම් කලා. අපේ මැදපෙල පිතිකරුවන් ක්‍රීඩා කරන ආකා‍රය ගැන අධ්‍යනය කරලා වැරදි ටික හදාගත්තානම් අපිට ලේසින්ම තරඟ ජයග්‍රහණය කරන්න පුලුවන් වෙනවා.”


“භානුක රාජපක්ෂගේ ආබාධ තත්වය නිසා තරඟය ක්‍රීඩා කරන්න ලැබුණේ නැති එක අපිට ලොකු පාඩුවක් වුණා. මොකද, ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඔහුට ඕනෑම මොහොතක හතරේ පහරක්, හයේ පහරක් ගහන්න පුලුවන්. භානුකගේ ආබාධය නිසාවෙන් ඉදිරි තරඟ දෙක ක්‍රීඩා කරනවා ද නැද්ද කියලා අපට තවම කියන්න බෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *