භානුක රාජපක්ෂ අද දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ අද දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙරට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

 

 

තමන් හදිස්සියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව භානුක රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජනවාරි 3 වන දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත ලබාදී තිබුණ අතර, එම විශ්‍රාම ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා භානුක රාජපක්ෂගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණා.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වල සිදුකර ඇති වෙනස්කම්,( කිලෝමීටර් 2 විනාඩි 8යි තප්පර 10කින් දිවීම හා විශේෂයෙන්ම SkinFold අගය 70ට අඩු කිරීම) සමඟින් තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ඔහු ක්‍රිකට් පරිපාලනයට දන්වා තිබුණි.

 

 

භානුක රාජපක්ෂ තවදුරටත් පවසා ඇත්තේ තමාගේ SkinFold අගය 70 මට්ටමට පහත දැමූ පසු, ඔහුට තමාගේ බලයෙන් පහර දීමට නොහැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

 

 

ඔහුගේ හදීසි සමුගැනීමේ ප්‍රකාශයෙන් පසු ලසිත් මාලිංග ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ ඔහුගේ ක්‍රීඩා ලෝලීන් ද ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියහ.

ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලය මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් භානුක රාජපක්ෂ මහතා විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව යළි සලකා බැලීමට එකඟ වී ඇති බව දැනගන්නට ඇත.

 

 

භානුක රාජපක්ෂගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අන්‍යෝන්‍ය මිතුරෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව වාර්තා වේ.

දෙපාර්ශ්වය අතර පැවති හමුව දැක්වෙන ඡායාරූපය ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින් දක්වා ඇත. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *