මගේ ආක්‍රමණශීලීත්වය දැන් අඩුකරලා තියෙන්නේ කියලා මිනිස්සුන්ට පේනව ඇති.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) තුන්වන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 16 වන තරඟය ලෙස පැවතී කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් කලම්බෝ කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 106ක් පමණයි.
කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු දිනේශ් චන්දිමාල් පන්දු 17කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් හා සුරංග ලක්මාල් පන්දු 29කදී හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්විය. මෙම තරඟයේදීත් නිරෝශන් දික්වැල්ල ලකුණු නොලබා දැවීගියා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න පන්දුවාර 3.1ක් අවසානයේදී ලකුණු 11ක් පමණක් ලබාදී කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර, Oshene Thomas ලකුණු 20කට කඩුලු 3ක් ඉසුරු උදාන ලකුණු 37කට කඩුලු 2ක් හා Fabian Allen ලකුණු 20කට එක් කඩුල්ලක් ද බිඳ දැමූවා.
අනතුරුව ලකුණු 107ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම පන්දුවාර 16කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 108ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
කැන්ඩි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත්වූ අතර, ඔහු පන්දු 48කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පන්දු 41කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද ලබාගැනීමට සමත්විය. මෙම තරඟයේදී මිනෝද් භානුක හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.
කැන්ඩි ෆැල්කොන්ස් ඉනිමේ බිඳවැටුනු එකම කඩුල්ල වන මිනෝද් භානුකගේ කඩුල්ල ලබාගැනීමට හැකිවූයේ සුරංග ලක්මාල් වේ.
ඒ අනුව, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 11කට කඩුලු 4ක් බිඳ දැමූ චාමික කරුණාරත්න වේ.
තරඟයෙන් අනතුරුව මෙම තරඟයේ වීරයා වු චාමික කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම හා ඔහුගේ සාර්ථකවය ගැන අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ මෙවර කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමබර කණ්ඩායමක් බවටයි.
“කණ්ඩායමක් ලෙස ගත්විට සෑම ක්‍රීඩකයෙක්ම ගොඩාක් මහන්සිවෙනවා. සෑම ක්‍රීඩකයෙක්ටම තරඟ ජයග්‍රහණය කරන්න තිබෙන ආශාව වැඩී. ඒක තමා හැමෝම වගේ හොඳට පර්ෆෝම් කරන්නේ. අද මම විකට් 4ක් ගත්තට Oshene Thomas , ඉසුරු උදානත් විකට් ගත්තා. හැමෝම එකතුවෙලා කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන නිසා තමයි අපේ කණ්ඩායම තරඟ ජයග්‍රහණය කරන්නේ”
මෙම තරඟාවලියේදී එක් තරඟයකදී පන්දුවක් වැදීමෙන් තුවාල වූ චාමික කරුණාරත්න ඉන් අනතුරුව තරඟ වලදී හොඳින් පර්ෆෝම් කළ අතර එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර සිටියෙ මෙවන්නක්,
“මාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කරාට පස්සේ මම මටම ගෝල්ස් වගයක් දාගත්තා. මගේ පුහුණුවීම් වැඩිකළා. සමහර වෙලාවට මගේ ඇඟටත් ඒක දරාගන්න අමාරුයි. නමුත්, මට මොන ප්‍රශ්නයක් , බාධාවක් ආවත් ඒවා කඩාගෙන ඉදිරියටම යනවා කියලා සිතාගත්තා. මම හිතන්නේ හැමවෙලාවෙම ජයග්‍රහණය පමණයි. ඒ නිසා වෙන්නැති මට හොඳට පර්ෆෝම් කරන්න පුලුවන් වුණේ.”
මෙවර කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස සනත් ජයසූරිය ක්‍රියා කරන අතර, ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව චාමික කරුණාරත්න පවසා සිටියා.
“මට මුලින්ම කණ්ඩායමට ආවට පස්සේ, ඔයා හොඳ ක්‍රීඩකයෙක්, ඔයා ග්‍රවුන්ඩ් එකට බෝල් කරන්න ගියාම ඔයා බෝලර් කෙනෙක්, බැට් කරන්න ගියාම ඔයා බැට්ස්මන් කෙනෙක් කියලා හිතන්න කිව්වා. මට ගොඩාක් උදව් කරනවා මාත් එක්ක ගොඩාක් කතා කරනවා. මම පිතිකණයේ යෙදෙද්දී මොන විදිහටද ආරම්භ කරන්න ඕනේ කියලා ඒ හැමදේම ගැන කතා කරනවා.”
“ඒ වගේම, මට මගේ ගේම් එක හසුරුවගන්නේ කොහොමද, මගේ තියන එක්ස්පීරියන්ස් එක යූස් කරන්නේ කොහොමද, ඒ දේවල් හොඳට කියලා දෙනවා. ඒ වගේම තමයි , මට සන්සුන්කම එහෙම කතා කරනවා. මගේ දැන් ආක්‍රමණශීලීත්වය ටිකක් අඩුකරගෙන තියෙන්නේ කියලා පේන්න තියනව ඇති මිනිස්සුන්ට. මම ඒක අඩුකරන්න හේතුව මට ගේම් එක තව ඉම්පෲ කරන්න අවශ්‍ය වුණා. ඉදිරියට යද්දී ඒ හැමදෙයක්ම වැඩිදියුණු කරගන්න මම බලාපොරොත්තු වෙනවා” – චාමික කරුණාරත්න
චාමික කරුණාරත්න ලබාගත් කඩුලු 4 වීඩියෝව,
— CricDaily24 (@cricday96) December 17, 2022