මගේ දැවීයාම කණ්ඩායමේ පරාජයට බලපෑවා – කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය ලකුණු 22කින් ජයග්‍රහණය කරමින් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සමකිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 302ට පිලිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 280ක් පමණයි. මෙම තරඟයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමු එක්දින ශතකය රැස් කර අතර, යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පලමු එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සමත් වුණා.

 

 

තරඟයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්, තරඟයේදී සිදුවූ අතපසුවීම් හා, මීලඟ තරඟයේ සැලසුම් ඉදිරිපත් කර සිටියා.

එහිදී ප්‍රථමයෙන්ම කමිඳු මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියේ තමන්ට තවත් පන්දුවාර කිහිපයක් ක්‍රීඩා කිරීමට හැකිවූවානම් තරඟයේ ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබූ බවයි.

 

 

“අපි පලවෙනි තරඟය හා දෙවෙනි තරඟයත් හොඳින් ක්‍රීඩා කළා. මේ තරඟයේදී අපේ අතින් වැරදි කිහිපයක් සිදුවුණා. මම හිතන විදිහට මගේ විකට් එකෙන් තව ටික වෙලාවක් ක්‍රීඩා කරන්න තිබුණනම් මීට වඩා තරඟය වෙනස් වෙනස් වෙන්න තිබුණා. ක්‍රීඩකයින්ගේ විශ්වාසය හොඳ මට්ටමක තියනවා. දැන් තරඟාවලිය 1-1ක් ලෙස සමවෙලා තියෙන්නෙ. මීලඟ තරඟයේදී හොඳ තරඟයක් දීලා තරඟාවලියේ ජයග්‍රහණය ලබාගන්න අපිට  පුලුවන් කියලා මම හිතනවා.”

 

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් කමිඳු මෙන්ඩිස් ඔහුගේ ඉනිම සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්,

“මම පන්දුවට පහර දීමට ගිය අවස්ථාවේදී ලඟ ලඟ කඩුලු 3ක් විතර බිඳ වැටිනා. මගේ ටාගට් එක තිබුණේ දසුන් අයියා එක්ක හොඳ පාර්ට්නර්ශිප් එකක් සෙල්ලම් කරන්න. හැබැයි මම 34 වෙනි ඕවරේදී අවුට් වුණා. මට හිතෙන විදිහට මම ඕවර් 40, 42 වගේ වෙනකන් දසුන් අයියා එක්ක සෙල්ලම් කරානම් මීට වඩා තරඟයේ වෙනසක් සිදුවෙන්න තිබුණා කියලා.”

 

 

තරඟ දෙකේදීම සිම්බාබ්වේ කණ්ඩායම විසින් විශාල ලකුණු ප්‍රමාණයන් රැස්කිරීමට සමත් වූ අතර, මෙයට හේතුව ශ්‍රී ලංකා පන්දු යවනන්නන්ගේ අසාර්ථකත්වය ද යන්න මාධ්‍යවේදියෙකුගෙන් නැගුන ප්‍රශ්නයකට කමිඳු පිලිතුරු ලබාදුන්නේ, අපගේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බවයි.

“ඇත්තටම අපේ බෝලර්ස්ලා හොඳින් බෝල් කරා. අපිට එක වෙලාවක සිම්බාබ්වේ කණ්ඩායම පිතිකරණයේ යෙදෙද්දී ලකුණු 330ක් 340ක් වැනි ලොකු ලකුණු ප්‍රමාණයක් පෙනෙන්න තිබුණා. නමුත් අපේ පන්දු යවන්නන් අවසන් මොහොතේ හොඳින් පන්දු යවලා ඔවුන්ගේ ඉනිම ලකුණු 302කට සීමාකරා.”

 

 

ඉනිමේ ඉතාමත් වැදගත් ස්ථානයක් වන අංක තුන ස්ථානය යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හට ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස,

“මම ශ්‍රී ලංකා A කණ්ඩායමේ හා ක්‍රීඩා සමාජයේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළා. මම හිතනවා මේක මට ලැබුන හොඳ අවස්ථාවක්. මට ලැබුන අවස්ථාව හොඳින්ම ප්‍රයෝජනය අරගෙන ඉදිරියට හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.”

 

 

මේ දිනවල බොහෝ දෙනාගේ කතාවට ලක්වන ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිඹඳව කමිඳු මෙන්ඩිස් අදහස් දක්වමින් පවසා සිටියේ ෆිට්නස් හොඳින් තබාගැනීම හේතුවෙන් තමාට වෙනදාට වඩා දියුණුවක් ඇති බවටයි.

“අපි ක්‍රීඩකයින් විදිහට ගොඩක්ම අපේ ෆිට්නස් ගැන අවධානය යොමු කරනවා. එක එක ක්‍රීඩකයින් තමාගේ වගකීම් ගැන අදුරනවා. ඉතින් ක්‍රීඩකයින් තමන්ගේ ෆිට්නස් ලෙවල් හොඳින් පවත්වාගනිමින්, කණ්ඩායම වෙනුවෙන් තමන්ට ලබාදීමට හැකි උපරිමය ලබාදීලා ඉදියට යන්න හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මගේ ෆිට්නස් ගැන කිව්වොත් පහුගිය කාලයත් එක්ක බැලුවාම මගේ දියුණුවක් තියනවා. ඉදිරියටත් මගේ ෆිට්නස් ලෙවල් එක Maintain කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ ක්‍රිකට් ජීවිතයට ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා.”

 

 

දිගින් දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වූ නායක දසුන් ශානක, මෙම තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් මංගල ශතකය රැස්කරගැනීමට සමත්වූ අතර, ඔහුගේ ඉනිම සම්බන්ධයෙන් කමිඳු මෙන්ඩිස් පවසා සිටියේ එය අතිවිශිෂ්ඨ ඉනිමක් යනුවෙනි.

“දසුන් අයියා සහ මම පන්දුවට පහර දෙද්දී අපි දෙන්නට ලොකු වගකීමක් තිබුණා. අපි දෙන්නා එක්තුවෙලා හොඳ පාර්ට්නර්ශිප් එකක් දැම්මා. දසුන් අයියා මේ තරඟයේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. අපේ විකට් තුනක් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දැවී ගිය අවස්ථාවක ඒ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න පහසු නැහැ. ඔහුගේ එම ඉනිම මම දැකපු හොඳ ඉනිම් වලින් එකක්. දසුන් අයියත් ඔහුගේ ඉනිම ගැන ගොඩක් සතුටු වෙනවා කියලා මම හිතනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *