මට ඇටෑක් කරද්දී මම පන්දු යවන්න ගොඩාක් කැමතියි. අපිට තව ලකුණු 15, 20ක අඩුවක් තිබුණා – වනිඳු

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙනුත් කඩුලු 3ක ජයක් ලබාගනීමත් සමඟි තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

තරඟයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 7න් කඩුලු 4ක් දවාගැනීමට විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සමත්වූ අතර, තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවට සහභාගී වෙමින් වනිඳු හසරංග තරඟය පිළිඹඳ අදහස් දක්වා සිටියා.

 

 

එහිදී වනිඳු හසරංග පවසා සිටියේ ඔවුන් පන්දුවට පහර දීමේදී තවත් ලකුණු 15ක් 20ක් පමණ ලබාගැනීමට හැකිවූවා නම් තරඟයේ ප්‍රතිපලය වෙනසක් සිදුකිරීමට තිබූ බවයි

“අපිට පන්දුවට පහර දීලා ලබාගන්න පුලුවන් වුණේ 124ක් පමණයි. එතකොට අපි ලකුණු 125ක් වැනි පොඩි ලකුණු ප්‍රමාණයක් නවත්වන්න ගියේ. විකට් එක කැපුනා. මට හිතුන දෙයක් තමයි මම හා මහීශ් ආරම්භයේදීම විකට් ගත්තොත් තරඟය වෙනස් කරන්න පුලුවන් කියලා. අපිට තව ලකුණු 15ක් 20ක් පමණ මදි වුණා..ඒක තමයි ගොඩාක් වෙලාවට තරඟය පරාජය වෙන්න හේතුව.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පලමු තරඟයේදී පන්දුවාර 2ක් ලකුණු 13කට යැවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට දෙවන තරඟයේදී පන්දු යැවීමට නායක දසුන් ශානක ලබානොදුන් අතර, එසේ චාමික කරුණාරත්න හට පන්දු යැවීමට නොදීමට හේතුව ලෙස වනිඳු හසරංග පැවසූවේ මෙවැන්නක්,

 

 

“දෙවෙනි තරඟය ක්‍රීඩා කළෙත් පලමු තරඟය ක්‍රීඩා කළ විකට් එකේමයි. මේ ඊයේ (8) විකට් එක ස්ලෝව් වුණා. ඕස්ට්‍රේලියාව බෝල් කරද්දිත් අපි දැක්කා ඒගොල්ලන්ගේ ස්පිනර්ස්ලා දෙන්නා බෝලේ දඟ කැව්වා. අපිට නවත්වන්න තිබුණේ ලකුණු 125යි. ඒ නිසා තරඟය ජයග්‍රහණය කරන්නනම් ඔක්කොම විකට් ටික ගන්න ඕනේ. දසුන් ඒ වෙලාවේ බැලුවේ ස්පිනර්ස්ලාගෙන් විකට් අරගන්න. මම හිතන්නේ ඒ නිසා තමා චාමික බෝල් කරේ නැත්තේ.”

 

(Photo by Gareth Copley-ICC/ICC via Getty Images)

 

මෙම තරඟයේදී, වනිඳු හසරංග සමඟින් අයි.පී.එක් තරඟාවලියේ එකම කණ්ඩායමේ ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් දවාගැනීමට වනිඳු හසරංග සමත්වූ අතර, එලෙස මැක්ස්වෙල්ගේ කඩුල්ල ලබාගැනීමට අයි.පී.එල් ක්‍රීඩා කිරීම කොතෙක් දුරට බලපෑවා ද යන්න මාධ්‍යවේදී දනුශ්ක අරවින්දගෙන් නැගුන ප්‍රශ්නයකට වනිඳු හසරංග ලබා දුන්නේ මෙවැනි පිලිතුරක්,

 

 

“මම හා මැක්ස්වෙල් දෙන්නම එකම කණ්ඩායමේ ක්‍රීඩා කළේ. නමුත් මැක්ස්වෙල්ගේ විකට් එක ලබාගන්න අයි.පී.එල් ක්‍රීඩා කිරීම ලොකුවටම බලපෑවා කියලා මම හිතන්නේ නෑ. මොකද, ප්‍රැක්ට්‍රිස් වලදී මම මැක්ස්වෙල්ට පන්දු යැව්වේ නැහැ.

අනිත් ක්‍රීඩකයින්ට බෝල් කරද්දී අනිත් කණ්ඩායම් වල ක්‍රීඩකයින්ට අයි.පී.එල් එකේදී ප්ලෑන් කරපු දේවල් මට වැදගත් වුණා. හැබැයි මැක්ස්වෙල්ට බෝල් කරද්දී මැක්ස්වෙල් වැඩිපුර ගහන තැන් මොනවද කියලා මට දැනගන්න පුලුවන් වුණා. ඒක තමා මැක්ස්වෙල්ව දවාගන්න අයි.පී.එල් ක්‍රීඩාකිරීමෙන් වැදගත් වුණේ.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පලමු තරඟයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එක කඩුල්ලක්වත් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වූ අතර දෙවැනි තරඟයේදී කඩුලු 7ක් ලබාගැනීම සම්බන්ධයෙන් වනිඳු හසරංග ප්‍රකාශ කර සිටියේ තරඟ දෙකම එකම තණතිල්ලේ ක්‍රීඩා කළ බැවින් හතරවන ඉනිමේ වාසිය අපේ පන්දු යවන්නන්ට ලැබුණු බවයි.

“පලමු තරඟය ක්‍රීඩා කළ තණතීරුවේම තමා අපි දෙවෙනි තරඟයත් ක්‍රීඩා කළේ. පලවෙනි තරඟයේදී සැරින් සැරේ වැස්සා. ඒ නිසා ඒ තරඟයේදී විකට් එක ගොඩක් හොඳ වුණා. එහෙම වැස්සාම විකට් එක තෙත ගතිය ඇවිල්ලා විකට් එක ෆ්ලැට් වුණා. අපි පන්දු යවද්දී පන්දු යවන්නන්ට පන්දුව අල්ලාගන්න ලේසි වුණේ නැහැ. දෙවෙනි තරඟයේදී අපි පන්දු යැව්වේ මේ තණතිල්ලේ හතරවන ඉනිමේ. ඒ වාසියත් අපිට තිබුණා. ඒක තමා අපිට විකට් ගන්න පුලුවන් වුණේ.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

මේ අතර පලමු තරඟයේදී වනිඳු හසරංග ප්‍රහාරයකට ලක්වූ නමුත් දෙවෙනි තරඟයේදී කඩුලු 4ක් ලබාගැනීමට හැකිවීමත්, වනිඳු හසරංග හට ප්‍රතිවාදීන් ඇටෑක් කිරීමත් සම්බන්ධයෙන් වනිඳු පවසා සිටියේ එලෙස ඇටෑක් කිරීමේදී ඔහුට වැඩිපුර කඩුලු ලබාගැනීමට හැකියාව ඇති බවයි.

“පලවෙනි මැච් එකේ මට ඕවර් 2ට ලකුණු 27ක් ගැහුවා. මොකද පොඩි ලකුණු ප්‍රමාණයක් ගහන්න තියෙද්දී ඕනෑම ටීම් එකකට පීඩනයක් නැහැ.. පීඩනය තියෙන්නේ පන්දු යවන්නන්ට. එහෙම වෙනකොට එයාලා කොහොමත් ට්‍රයි කරන්නේ ඇටෑක් කරන්න. මේ වගේ ටීම් එකක් කොහොමත් මගේ පලවෙනි ඕවරේ , දෙකේදී මට ඇටෑක් කරන්න බලනවා. මොකද මට ඇටෑක් කරලා ඉවරවෙලා මාව ගේම් එකෙන් එලියට දැම්මොත් එයාල දන්නවා එයාලට මැච් එක ලේසියෙන් දිනන්න පුලුවන් කියලා.”

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

“නමුත්, එහෙම ඇටෑක් කරද්දී පන්දු යවන්න මම ගොඩාක් කැමතියි. බැට්ස්මන්ලා ඇවිල්ලා මට ලකුණු එක, දෙක ගහනවට වඩා මම කැමති මට ඇටෑක් කරනවට. මොකද එහෙම ඇටෑක් කරද්දී මම දන්නවා මට විකට් ගන්න පුලුවන්. එතකොට මට කණ්ඩායමට විකට් අරගෙන දෙන්න පුලුවන්. “

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

මෙම තරඟාවලියේ ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත් පුහුණුඋපදේශක වරයා ලෙස කටයුතු කරන අතර, තරඟය අතරතුරේදී ඔහු ක්‍රීඩාංගනයේ එපිටින් සිට නිතරම ක්‍රීඩකයින් හට උපදෙස් ලබාදෙන අයුරු අපට දැකගන්නට ලැබුණු අතර ලසිත් මාලිංගගේ සහය කෙතරම් වැදගත් ද යන්න වනිඳු හසරංග මෙලෙස ප්‍රකාශ කර සිටියා,

“අපි හැමෝම දන්නවා මාලි අයියා කියන්නේ කවුද කියලා. මාලි අයියා වගේ කෙනෙක් ටීම් එකත් එක්ක ඉන්නවා කියන්නේ ෆාස්ට් බෝලර්ස්ලාට විතරක් නෙමේ, දඟපන්දු යවන්නන්ටත් බැට්ස්මන්ලාටත් ඒක ලොකු දෙයක්. මොකද එයා නැශනල් ටීම් එකට හා ලීග් ක්‍රිකට් වල ගොඩාක් මැච් ක්‍රීඩා කරලා තියනවා. අපි දන්නවා t20 ෆෝමැට් එකේදී මාලිංග මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ මාලි අයියගේ සපෝර්ට් එක ටීම් ඉන්න හැමෝටම ගොඩාක් වටිනවා.”

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

මෙම වසරේදීත් විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වන බැවින්, ලෝක කුසලානය වන විට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හා පන්දු යවන්නන් හට ඔවුන්ගේ දක්ශතා වැඩිදියුණු කරගැනීමට හැකියාව ඇති බව හා අවසාන වශයෙන් තරඟ දෙකම නැරඹීමට පැමිණී ප්‍රේක්ෂකයින් හට වනිඳු හසරංග ස්තූතිය ප්‍රකාශ කර සිටියා.

“අපිට ඉදිරියේදී හොඳ එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය කිහිපයක් තියනවා. ඒ සීරිස් වලින් අන්තිම වෙන කොට අපේ බැටින්, බෝලින් දෙකම එක ලෙවල් එකකට ගේන්න පුලුවන් උනොත් වර්ල්ඩ් කප් එකට කලින් ටීම් එකක් විදිහට ඒක හොඳ අවස්ථාවක්. බෝලින් අංශයෙන් ගත්තොත් අපේ බෝලර්ස්ලා මේ වෙලාවේ හොඳටම බෝල් කරනවා. අපි ඒක පිළිගන්න ඕනේ. මම හිතන්නේ ඔක්තෝම්බර් වර්ල්ඩ් කප් එක වෙන කොට අපි තව වැඩිදියුණු වෙයි.”

 

 

“පලවෙනි තරඟයත්, මේ තරඟයත් දෙකේදිම අපි දැක්කා ප්‍රේක්ෂකයින් ගොඩාක් අපිට සපෝර්ට් කරන්න ඇවිත් තිබුණා. ඇත්තටම කාලෙකට පස්සේ තමා ප්‍රේක්ෂකයින්ට මෙහෙම තරඟයක් බලන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම දැන් රටේ පවතින තත්වයත් එක්ක ප්‍රේක්ෂකයින් අපිව මේ විදිහට දිරිමත් කරනවා කියන්නේ ඒක ඇත්තටම ලොකු දෙයක්. ටීම් එකක් විදිහට අපිත් ගොඩ කාලෙකට පස්සේ තමයි අපේ ප්‍රේක්ෂකයින් තරඟය නරඹද්දී අපි ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ ඒ සපෝර්ට් එක අපිට ගොඩාක් වටිනවා. ”

 

(Photo by Daniel Pockett – CA/Cricket Australia via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *