මට මාලි අයියා අවුරුදු 17, 18 කාලයේ ඉදන්ම උදව් කරනවා – චාමික කරුණාරත්න
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරගයෙන් ලකුණු 26ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වටිනා කඩුලු 3ක් බිඳ දමමින් තරඟයේ වීරයා සම්මානය දිනාගත් චාමික කරුණාරත්න, තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී ප්‍රථම වශයෙන් ඔහුගේ එක්දින පිටියේ වාර්තා කළ හොඳම පන්දු යැවීමට සුබ පතමින් මාධ්‍යවේදීයෙකකු විසින් චාමිකගේ මෙම සාර්ථකත්වයට ලසිත් මාලිංග කෙතරම් සහය වූවා ද යන්න විමසූ ප්‍රශ්නයකට චාමික දැක්වූයේ මෙවන් අදහසක්,
“මේ වගේ දස්කම් දක්වන්න මම ගොඩක් පුහුණුවීම් කළා. ඒ සඳහා මට ගොඩාක් කට්ටිය උදව් කළා. අද ඊයෙක ඉදන් නෙමේ මගේ වයස අවුරුදු 17,18 ඉදන් වගේ මට මාලි අයියා ගොඩාක් උදව් කරලා තියනවා. ඒ වගේම මාලි අයියගේ උපක්‍රම හරිම වටිනවා.”

“ඒ වගේම අපේ අලුත් කෝච් බංගලාදේශ තරඟාවලියෙන් පස්සේ මගේ ගොඩක් දේවල් හැදුවා. ඒ වගේම මීට පෙර වේගපන්දු පුහුණුකරු ලෙස සිටි චමින්ද වාස් වගේම දර්ශන ගමගේ මට ගොඩක් උදව් කළා. මේ දේ ලබාගන්න මම ගොඩාක් මහන්සි වුණා. ඉතින් මට ගොඩාක් සතුටුයි.”
පලමු තරඟයේදී ලකුණු 300ක් ලබාගෙන පරාජයට පත්වූවත් මෙම තරඟයේදී ලකුණු 220ක් වැනි ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගැනිමින් තරඟය ජයගැනීමට දනංජය ද සිල්වා ආරම්භයේදී ලබාගත් කඩුලු 2 ගොඩාක් උදව් වූ බවට චාමික කරුණාරත්න ප්‍රකාශ කර සිටියා.
“මුලින්ම කියන්න ඕනේ දනංජය අයියා මුලින්ම ලබාගත් කඩුලු දෙක ඉතාමත් තීරණාත්මක කඩුලු දෙකක්. පලමු ඕවර් 10 ඇතුළත විකට් දෙකක් බිඳ වැටුනු නිසා තමා අපිට ගේම් එක ඇදගෙන යන්න ලේසි වුණේ. අපිත් ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ නැහැ. අපිටත් බැට් කරද්දී පිච් එක ස්පිනර්ලාට සපෝර්ට් එකක් තිබුණ නිසා අමාරු වුණා.”

අද දින දෙවන එක්දින තරඟය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාල තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ අතර, ඔහුගේ මෙම දස්කම් ද අගය කරමින් චාමික කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්,
“දුනිත් වෙල්ලාලගේ තවමත් අවුරුදු 19යි..ඒ වගේ පොඩි ක්‍රීඩකයෙක් එයාගේ ආකල්ප , ක්‍රීඩා කරන විදිහ, ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මේ වගේ ඇටිටියුඩ් තියන ක්‍රීඩකයින් ගොඩාක් අඩුයි. ඔහු ලබාගත්ත විකට් දෙක හා උඩපන්දුවත් තරඟය ජයග්‍රහණයට ගොඩාක් උදව් වුණා.”

පහුගිය තරඟ වලදී කරුණාරත්න හට ඉතාමත් අඩු පන්දුවාර ප්‍රමාණයක් දැවීමට හිමිවූ බැවින් සෝශල් මීඩියා හි, ඒ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ වු අතර, ඒ සම්බන්ධයෙන් චාමික කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්,

“තරඟය ක්‍රීඩා කරන කොට Plans තියනවා. සමහර වෙලාවට අපි විකට් ගන්න බලනවා. සමහර වෙලාවට වෙලාවට මාව මිස් වෙන්න පුලුවන්. එහෙම දේවල් වෙන්න පුලුවන්. වැරදි වෙන්නේ මිනිස්සුන්ගේ අතින්.
අද මට පන්දු යවන්න හම්බවෙලා කඩුලු 3ක් ලබාගත්තත් ඕවර් 7ට ලකුණු 47ක් ලබාදීලා තියනවා. සමහර විට මම අද කඩුලු ලබානොගත්තානම්, සෝශල් මීඩියා එකේ මම පන්දු යවලා ලකුණු දුන්නා කියලා යන්න පුලුවන්. අපි ඉස්සරාට යද්දී අපේ දස්කම් තව වැඩිදියුණු කරගන්නවා. අපිට අවශ්‍ය තරඟ දිනන්න.”

පලමු තරඟය අතරතුරදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග දෙවන තරඟය ක්‍රීඩා නොකල අතර, තුන්වන තරඟය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති බව චාමික කරුණාරත්න අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියා.
“වනිඳු හසරංගගේ ආබාධ හොඳ අතට හැරිලා තියනවා. මට හිතෙන්නේ ඔහුට තුන්වන තරඟය ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි. අද විකට් එක ගොඩක්ම දඟකැවෙන නිසා වනිඳු මැච් එකට හිටියනම් තරඟය ගොඩක්ම ලේසි වෙන්න තිබුණා කියලා මම හිතනවා. බෝලින් විතරක් නෙමේ බැටින්, ෆීල්ඩින් වුනත් ඔහු මේ වන විට ලෝකේ ඉන්න හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. එයා ඊලඟ තරඟයට ආවොත් අපේ කණ්ඩායම තවත් ශක්තිමත් වෙනවා.” – චාමික කරුණාරත්න

මේ අතර, තරඟය අවසානයේදී නායක දසුන් ශානක තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ චාමික කරුණාරත්න තරඟ ජයග්‍රහණය සඳහාම ඉපදුන කෙනෙක් බවයි.
“අපි පන්දුවට පහරදීමේදී ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූයේ. චාමික කරුණාරත්න කියන්නේ ජයග්‍රහණය කිරීමටම උපදුන කෙනෙක්. මම පන්දුව ඔහුට ලබාදෙන සෑම අවස්ථාවකදීම ඔහු කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදෙනවා. දුනිත් ගැන මට ගොඩාක් සතුටුයි. ඔහු ඉතාමත් ඉහළ තැනක සිටිනවා. මම ඔහු ගැන ලොකු විශ්වාසයකින් සිටිනවා.” – නායක දසුන් ශානක

චාමික කරුණාරත්න ලබාගත් කඩුලු 3 වීඩියෝව මෙන්න.
Chamika karunaratne | 3 Wickets pic.twitter.com/Z1QNN1x6jY
— Stay Cricket (@staycricket) June 16, 2022