මම තරඟය අවසන් කරනවා කියලා හිතාගෙන සිටියේ – පැතුම් නිස්සංක
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ තුන්වන තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී තම ජාත්‍යන්තර එක්දින මංගල ශතකය රැස්කර ගැනිමින් පැතුම් නිස්සංක තරඟයේ වීරයා සම්මානයද දිනාගත් අතර, තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තරඟය පිලිඹඳ අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ කුසල් මෙන්ඩිස් සමඟින් ඕවර් 35ක් වත් ක්‍රීඩා කිරීමට ඔවුන් දෙදෙනා ප්ලෑන් කර බවයි.
“මමයි දික්කා අයියයි පවර්ප්ලේ එකේ ගන්න පුලුවන් උපරිම ලකුණු ලබාගන්න උත්සාහ කරා. ඊට පස්සේ කුසල් අයියා ආවාම අපි දෙන්නා ප්ලෑන් කරේ ඕවර් 35 වෙනකන් අපි දෙන්නා ඇදගෙන යන්න ඕනේ කියලා. එතකොට යට ඉන්න පිතිකරුවන්ට තරඟය ජයග්‍රහණය කරවන්න ලේසි වෙනවා.”
අද දිනයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව හඹායෑමකදී ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කීමට පැතුම් නිස්සංක සමත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඔහු ආඩම්බර වන බව ද ප්‍රකාශ කර සිටියා.
“මම මැච් එකට යන්න කලිනුත් හිතාගෙන හිටියා මම අද මැච් එක ඉවරකරනවා කියලා. මම හිතනවා හරි තීරණය ගත්ත නිසා මට ඒක ලේසි වුණා කියලා. ”
“මේ වගේ වර්ල්ඩ් ක්ලාස් කණ්ඩායමට එරෙහිව ඒ වගේ ඉනිමක් වාර්තා කරලා තරඟයක් ජයග්‍රහණය කරවීමට හැකිවීම ගැන මම නිතතමානීව ආඩම්බර වෙනවා. ඒක ගැන මට ගොඩාක් සතුටුයි.”

අද දිනයේ වඩාත් උණුසුම් කාළගුණයක් පැවතී අතර, මෙම උණුසුම තරඟයට බලපෑමක් ඇති කළාද යන්න මාධ්‍යවේදියෙකුගෙන් නැගුණ ප්‍රශ්නයකට පැතුම් නිස්සංක පවසා සිටියේ ඔවුන් එම අභියෝගයට ද හොඳින් මුහුණදුන් බවයි.
“අපි මුලින්ම පන්දු රැකපු නිසා අපේ බෝලර්ස්ලාට ගොඩාක් අමාරු වුණා. ඒ උනාට අපි හැමෝම හරි දේවල් කරගෙන හිටපු නිසා අපි වැටුනේ නැහැ. ඒකත් චැලේන්ජ් එකක්. ඒකට අපි හොඳින් මුහුණදුන්නා කියලා මම හිතනවා.”

කාලයක සිට පැතුම් නිස්සංක ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනේදීම වඩාත් කැපී පෙනෙන අයුරින් දස්කම් දක්වමින් සිටින අතර එයට හේතුව ලෙස ඔහු පවසා සිටියේ නායකයා හා පුහුණුකරුවන් විසින් ඔහුගේ කාර්යය ඔහුට පෙන්වා දී ඇති බවයි.
“නායකයා හා පුහුණුකරුවන් මගේ වගකීම මට කියලා දීලා තියනවා. එහෙම මට කියලා දීලා තියන නිසා මම ඒක කරගෙන යනවා. ප්‍රැක්ට්‍රිස් කරද්දී හොඳට මහන්සි වෙනවා. මගේ මයින්ඩ් එකත් හොඳට තියන නිසා මට කණ්ඩායම බලාපොරොත්තු වෙන විදිහට පර්ෆෝම් කරන්න පුලුවන් කියලා මම හිතනවා.”
ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වෙන තරඟ වලදී, පන්දුවට පහර දෙමින් සිටින ක්‍රීඩකයින් මානසිකව වට්ටා දවාගැනීම සඳහා ඔවුන් විවිධ ආකාරයේ දේවල් පිතිකරුවන්ට පවසන අතර, පැතුම් නිස්සංක පවසා සිටියේ ඔවුන් පවසන කිසිවක් තමන් නොසිතන බවයි.
“මම ඒ කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැහැ. මම ඒ වෙලාවට හිතන්නේ මගේ ඉනිම ගැන විතරයි. ඒ ක්‍රීඩකයින් මොනවා කිව්වත් මට අදාල නැහැ. ඒ නිසා මට ඒක අපහසුතාවයක් වෙන්නෙ නැහැ.”

මේ වන විට තරඟාවලියේ තරඟ 2ක් ජයගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින අතර මීලඟ තරඟයත් ජයගනිමින් තරඟාවලිය ජයගැනීමට ඔවුන් හොඳ මානසික මට්ටමක සිටින බවද අවසන් වශයෙන් පැතුම් නිස්සංක ප්‍රකාශ කර සිටියා.
“අපි හොඳ මානසික මට්ටමක ඉන්නව වගේම කණ්ඩායමේ සියලුම දෙනාට විශ්වාසයක් තියනවා තරඟාවලිය ජයගැනීමට ජයගන්න පුලුවන් කියලා. ඉතින් මම හිතනවා ටීම් එකක් විදිහට ක්‍රීඩා කරලා ඊලඟ තරඟයත් ජයගැනීමට අපිට හැකියාව තියනවා කියලා.”

මේ අතර මෙම තරඟය අවසානයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරඟය ලෙස දැක්වූ අදහස පහළින්,
“මෙම වාර්තාගත ජයග්‍රහණය පිළිබඳව ලොකු සතුටක් තිබෙනවා. විශේෂයෙන්ම කුසල් හා පැතුම්ගේ ඉනිම් දෙක සම්බන්ධයෙන් මට ලොකු සතුටක් තියනවා. අපට ප්‍රබල ඕස්ටේලියා කණ්ඩායම පරදා තරඟාවලිය ජයගැනීමට හොඳ අවස්ථාවක් තියනවා. ඒ සඳහා අපි උපරිමයෙන්ම උත්සහ දරණවා, මට හිතෙනවා මේ සංයුතිය ඉතාමත් හොඳයි කියලා”