මම නිතරම කෝච්ගෙන් අහනවා, මට ඊලංගට එන්න පුලුවන් අභියෝග මොනවද කියලා. – චරිත් අසලංක
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය අද (4) පැවැත්වුන අතර එම තරඟයෙන් ලකුණු 67ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
වර්ශාව හේතුවෙන් තරඟය පන්දුවාර 47කට සීමා කෙරුණ අතර, කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබාගත් අතර, පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණයි.
තරඟයෙන් අනතරු, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පන්දු 69කින් ලකුණු 77ක් ලබාගත් චරිත් අසලංක මාධ්‍ය හමුවකට සහභාගි වූ අතර, එහිදී ඔහු, මෙම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සිදුවූ වැරදි හා එම වැරදි හදාගනිමින් ඊලඟ තරඟය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා සිටියා.
“අද තරඟයේදී, අපේ ක්‍රීඩකයින්ගේ අතින් ෆීල්ඩ් කරද්දී වැරදි කිහිපයක් වුණා. ඒකේ වගකීම අපි බාරගන්න ඕනේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ කණ්ඩායමට ලකුණු කිහිපයක් වැඩි වුණා. අනිත් එක, මමයි දසුන් අයියයි හොඳට සෙල්ලම් කරගෙන ඉන්න කොට නැවතත් වර්ෂාව ඇදහැලුනා. ඒ නිසා ඕවර් 10ක් අඩු වුනත් ලකුනු වලින් අඩු වුණේ ලකුණු 20ක් පමණ සංඛ්‍යාවක්. මම හිතන්නේ අපිට එතනත් ලොකු අවාසියක් වුණා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුලුවන්. අද දකුණු අප්‍රිකා කණ්ඩායමත් හොඳින් ක්‍රීඩා කළා.”
“කණ්ඩායම වෙනස් කිරීම සම්බන්ධයෙන් මට අදහසක් නැහැ. නමුත් අපි හැමෝම තනි තනි වශයෙන් ගත්තොත් අපේ ගේම් එක තව 10%ක් වැඩි කරගන්න ඕනේ. අපිට පලවෙනි තරඟයේ වගේ හොඳ ඉනිම් දෙක තුනක් ලැබුනොත් ඊලඟ තරඟය දිනන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.”
මේ අතර එංගලන්තයේ දී නොම්බර 03 ක්‍රීඩා කළ චරිත් අසලංක හට මේ වන විට නොම්බර 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ලැබී ඇති අතර, ඔහු විසින් පවසා සිටියේ ඔහු එම ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කැමැත්තෙන් බවයි.
“මම එංගලන්තයේදි අංක 3 සෙල්ලම් කරලා ෆේල් වුණාට පස්සේ දසුන් අයියා තමයි මාව නොම්බර 5 ස්ථානයේ සෙල්ලම් කරන්න කියලා. ඒක වගකීම් සහිත ස්ථානයක්. මම හරිම කැමැත්තෙන් තමයි එම ස්ථානය්රෙ ක්‍රීඩා කරන්නේ. ඉතින් මම ඉස්සරහත් එම ස්ථානයේම ක්‍රීඩා කරන්න කැමතියි.” – චරිත් අසලංක
අද තරඟයේ ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් පිට පිට තරඟ දෙකකදී අර්ධ ශතක දෙකක් ලබාගැනීමට සමත් වූ චරිත් අසලංක හට ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග වලට හොඳින් මුහුණදීම සඳහා ඔහුගේ සැලසුම ඉදිරිපත් කලේ මෙලෙසින්.
“අපි ටික කාලයක් ක්‍රීඩා කරන කොට අපිව අනිත් රටවල ක්‍රීඩකයින් අඳුරගන්නවා. තාක්ශනයේ දියුණුවත් එක්ක ඕනෑම රටක කෙනෙක්ට අපි ගහපු මැච් බලන්න පුලුවන්. ඒගොල්ලෝ මාව අධ්‍යනය කරනවා. මම නිතරම, මට ඊලඟට එන්න පුලුවන් අභියෝග මොනවද කියලා කෝච්ගෙන් අහනවා. ප්ලේයර් කෙනෙක් වශයෙන් මට නොතේරෙන දේවල්, එලියෙ ඉදන් බලාගෙන ඉන්න කෝච්ලට පේනවා. කෝච්ලා කිව්වොත් මට ඊලඟට එන්න පුලුවන් අභියෝග මොනවද කියලා මම අනිවාර්යයෙන්ම ඒකට කලින් ලෑස්ති වෙනවා. ඒ විදියට තමයි ඉස්සරහට එන්න පුලුවන් අභියෝග වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ.”
“අපි ඊලඟ තරඟයට යන්න කලින්, මේ තරඟයේ අපෙන් සිදුවුණ වැරදි, විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ අපි හැමෝම ඒ ගැන කතා කරනවා. අපි තරුණ කණ්ඩායමක්. හැමෝටම පේන්න තියනවා අපි තරඟ ජයග්‍රහණය කරන්න ලොකු උත්සහයක් දරනවා. අපේ අඩුපාඩු හදාගෙන රට වෙනුවෙන් ඊලඟ තරඟය ජයග්‍රහණය කරලා, තරඟාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.”