“මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ හොඳම කඩුලු රකින්නා මම කියලා” – දික්වැල්ල
ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (24) ආරම්භ වූ අතර අද (25) දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට පකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබාගෙන සිටියා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තරඟය සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා සිටියා.
නිරෝශන් දික්වැල්ල පසුගිය තරඟ කිහිපයේදී අසාර්ථක වීම හේතුවෙන් සෝශල් මීඩියා ඔස්සේ ඔහු විවේචනයට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් නිරෝශන් දික්වැල්ල පවසා සිටියේ පුහුණුකරුවන්ගේ සිට කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්වා සියලුම දෙනා තමන් අවශ්‍ය මොහොතේ කණ්ඩායමට ලකුණු ලබාගෙන දෙන බව ඔවුන් විශ්වාස කරන බවයි.
“මම මෙච්චර කල් ගහලා තියන ක්‍රිකට් එකට හා මට ලැබිලා තියන අවස්ථාවට මුලින්ම මම අදහන දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. පුහුණුකරුවන්, තේරීම් කමිටුව, කණ්ඩායමේ නායකයා වගේම කණ්ඩායමේ ක්‍රීඩකයින් හැමෝම මාව විශ්වාස කරනවා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ කණ්ඩායමට ලකුණු ලබාගෙන දෙනවා කියලා.”
මේ වන විට නිරෝශන් දික්වැල්ල අර්ධ ශතක 22කට හිමිකම් කියන නමුත් තවමත් එක් ටෙස්ට් ශතකයක් ලබාගැනීමට නොහැකිවී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නිරෝශන් දික්වැල්ල දැක්වුයේ මෙවන් අදහසක්,
“මම තවම ශතකයක් ලබාගෙන නැහැ. නමුත් පහුගිය තරඟ දෙකේදී ලකුණු ලබාගැනීමට නොහැකි වුවත්, ඊට පෙර තරඟ වලදී කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ලකුණු ලබාගෙන තියනවා. මම ක්‍රීඩා කරන්නෙත් නො. 7. ඒක නිදහසට කරුණකුත් නෙමේ. නමුත් අවාසනාවකට මට තවම ශතකයක් ලබාගැනීමට නොහැකිවී තිබෙනවා.”
ගාල්ලේ අවසානයට පැවතී තරඟ 3න් දෙකක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, මෙම තරඟයේ තණතිල්ල ගැන ද නිරෝශන් දික්වැල්ල පවසා සිටියේ හෙට දිනයේදී ද තණතිල්ල පිතිකරුන්වන් හට සහය දක්වනු ඇති බවයි.
“අපි අවසානයට ක්‍රීඩා කළ තරඟ 4 ගත්තොත් තරඟ හතරේදිම ක්‍රීඩා කළ විකට් එක එකිනෙකට හාත්පසින්ම වෙනස්. මෙම තරඟයේදී තවමත් හොඳ කඩුල්ලක් තිබෙනවා. අපේ පන්දු යවන්නන් හොඳින්ම පන්දු යවපු නිසා තමයි අපිට ඔවුන්ගේ කඩුලු 7ක් ලබාගැනීමට හැකිවුනේ. මම හිතන්නේ හෙට දවසත් පිතිකරුවන්ට හොඳ දවසක් වේවි.”
නායක දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් අද ක්‍රීඩා අද දිනයේදී තරඟය ක්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට දෙවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්න තවම තීරණයක් ගෙන නොමැති බවද දික්වැල්ල ප්‍රකාශ කර සිටියා.
“තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් නොගෙන ඇති බව පවසා සිටි අතර, ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට පුහුණුකරුවන් හා නායකයා එක්ව ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාගනීවි.”
ගාල්ලේ පැවතී පහුගිය තරඟ කිහිපයේදීම කඩුලු රැකින්නා වූ නිරෝශන් දික්වැල්ලට, දවාගැනීම් කිහිපයක්ම මඟ හැරුණු අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ එම තරඟවලදි කඩුලු රැකීමට නොව පන්දුවට පහරදීමටවත් පහසු කඩුල්ලක් නොතිබූ බවයි.
“ඕගොල්ලෝ දකින්නැති ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී තරඟයේදී කඩුලු රකින්න නෙමේ පිතිකරුවන්ට පන්දුවට පහරදීමටවත් අපහසු වුණ තණතිල්ලක් තිබුණේ. අවස්ථාවන් මඟ හැරෙන්න පුලුවන්. එතකොට හොඳට පුහුණුවීම් කරලා තමයි නැවත පැමිණෙන්න ඕනේ.”
ඊයේ (25) දිනයේ පැවතී මාධ්‍යහමුවේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දනංජය ද සිල්වා, දැනට ශ්‍රී ලංකාවේ දඟකැවෙන තණතීරුවල හොඳම කඩුලු රකින්නා දික්වැල්ල බව පවසා සිටි අතර, මාධ්‍යවේදියෙකුගෙන් නිරෝශන් දික්වැල්ල හට නැගුන ප්‍රශ්නයකට නිරෝශන් දික්වැල්ල ද ප්‍රකාශ කර සිටියේ තමන් ද එය විශ්වාස කරන බවයි.
“මමත් විශ්වාස කරනවා මම තමයි ශ්‍රී ලංකාවේ සිටින හොඳම කඩුලු රකින්නා කියලා. නමුත් දවාගැනීම් අවස්ථා මඟ හැරෙන්න පුලුවන්.. අපි මිනිස්සු. අපේ Mistake හදාගෙන ඊලඟ තරඟයේදී හොඳින් කඩුලු රැකීමේ කාර්යයක් පෙන්නුම් කරන ක්‍රීඩකයා තමා හොඳ කඩුලු රකින්නෙක් කියලා කියන්න පුලුවන්. මම හිතනවා දැනට මම ඒක කරගෙන යනවා කියලා.”