මම 2019 ඉදන් අවුරුදු 2ක කාලයක් අතුළත ලෝකේ අංක දෙකේ විස්සයි විස්ස පන්දු යවන්නා බවට පත් වුණා.

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරඟාවලියේ පලමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබාගැනීමට ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා නායක මහරාජ් විසින් පලමු පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුණා..ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

මෙම තරඟයේදී ලකුණු 23කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ වනිඳු හසරංග තරඟයෙන් අනතරුව පැවතී මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින්, තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

“අද තරඟය ක්‍රීඩා කළ පිච් එක තුන්වෙනි එක්දින තරඟය සෙල්ලම් කළ විකට් එක වගේ, අදත් හොඳට දඟකැවෙයි කියලා අපි හිතුවා. නමුත් අපිට ඕන විදියටම විකට් එක කැපුනෙ නැහැ. එයාලා හොඳ එක්ස්පීරියන්ස් ටීම් එකක්. ඒගොල්ලෝ හොඳට බැට් කරා. අපි බැට් කරන්න ආවාම මුල් ටිකේ අපේ පිතිකරුවන්ගෙන් ඩොට් බෝල් ටිකක් ගියා. ලකුණු 163 කියන්නේ අපිට ගහන්න පුලුවන් ලකුණු සංඛ්‍යාවක්. මම දකින විදියට මුල් ඕවර් වලදී ඩොට් බෝල් ටිකක් ගිය නිසා තමයි අපිව තරඟයෙන් එළියට ගියේ.”

2019 විස්සයි විස්ස වරම් දිනාගත් වනිඳු හසරංග මේ වන විට ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ඔහුගේ සාර්ථක පිළිඹඳම වනිඳු හසරංග විසින් මෙසේ ප්‍රකාශ කර සිටියා.

“මම මුලින්ම විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කළේ 2019 වර්ශයේදී. ඉතින් මේ අවුරුදු දෙකක කාලය තුළ මම වර්ල්ඩ් රෑන්කින් වල අංක 2 ස්ථානයට ඇවිල්ලා තියනවා. මම නිතරම බලන්නේ ක්‍රීඩාකරන්න තරඟයක් ලැබුණොත් මගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන්න.”

මේ අතර, මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට, මේ වන විට හොඳ ශ්‍රී ලංකා කණ්ඩායමක් සිටින බවද වනිඳු හසරංග විසින් සඳහන් කර සිටියා..

“ලෝක කුසලානයට පෙර අපිත තව විස්සයි විස්ස තරඟ 7ක් තියනවා. අපි ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රහණය කළා. මේ තරඟාවලියෙත් තවම එක තරඟයක් පමණයි ක්‍රීඩා කළේ. මම හිතනවා දැන් අපේ ටීම් එක බැලන්ස්. බෝල්න් ගත්තත්, බැටින් ගත්තත් අපිට දැන් හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. ඉතින් අපි මේ තරඟයේ සිදුවුන වැරදි ගැන කතා කරලා, ඒ ටික හදාගෙන ඊලඟ තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, පහුගිය තරඟ කිහිපයේදීම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වූ අතර, පිතිකරණයේ ද වැරදි හදාගනිමින් මීලඟ තරඟ වලදී තමන්ගෙන් කණ්ඩායම අවශ්‍ය දේ ඉටු කර දීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු විසින් අවසානයට සඳහන් කර සිටියා.

“මම අන්තිම එක්දින තරඟ තුනයි, මේ විස්සයි විස්ස තරඟයේදීයි පිතිකරුවෙක් විදියට අසාර්ථක වුණා. මේ තරඟයේ මම අද බැට් කරන්න යන කොට ඕවරයකට ලකුණු 12 බැඟින් වගේ ලකුණු ගහන්න තිබුණා. මම ඒ වෙලාවේ බැලුවේ වේගයෙන් ලකුණු ටිකක් ගහලා කණ්ඩායම මගෙන් වෙන්න ඕන දේ කරලා දෙන්න. අවසනාවකට මට ඒ දේ කරන්න බැරි වුණා. මට ඊලඟ තරඟයේදී පන්දුවට පහරදීමට අවස්ථාව ලැබුනොත් මගෙන් ටීම් එකට අවශ්‍ය දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.”

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click කරන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *