මම 2019 හා 2020 ලෝක කුසලානයත් ක්‍රීඩා කරලා සමුගන්න සිතාගෙන හිටියේ. – තිලකරත්න ඩිල්ශාන්
ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුගේ නමින් පහරක් ක්‍රිකට් ලෝකෙට දායාද කිරීමට සමත් වූ තිලකරත්න ඩිල්ශාන් පලමු වතාවට එම පහර එල්ල කර වසර 12ක් සම්පූර්ණ වීම හේතුවෙන් ඩිල්ශාන් විසින් ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා සජීවීව පැමිණ “ඩිල්ස්කූප්” පහර නිර්මාණය වූ ආකාරය හා ප්‍රේක්ෂකයන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද පිළිතුරු ලබා දුන්නා.
(Screen Shot – TM Dilshan Youtube Channel)
එහිදී ඩිල්ශාන් විසින් “ඩිල්ස්කූප්” පහර සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් එය 2009 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කඩුල්ල අසලට පැමිනී කඩුලු රකින්නාව කඩුල්ලෙන් ඈතට යැවීමට පලමු වතාවට එලෙස පහරක් එල්ල අර අතර පසුව ලංකාවට පැමිණ මාස ගානක් එම පහර පුහුණුවීම් කළ බවයි.
“2009 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය තිබුණේ දකුණු අප්‍රිකාවේදී. මම එක තරඟයක ඉදිරියට පැන පැන හොඳින් පන්දුවට පහර දෙන වෙලාවේ අනෙත් කණ්ඩායමේ කඩුලු රකින්නා ග්‍රිල්ක්‍රිස්ට් කඩුල්ල අසලට ආවා. ඊට පස්සේ මට ඉදිරියට පනින්න බැරි නිසා මට අවශ්‍ය වුණා ඔහුව ආයෙමත් කඩුල්ලෙන් ඈතට යවන්න. ඊට පස්සේ බෝලයකට මට කෙලින්ම ග්‍රිල්ක්‍රිස්ට්ගේ ඔලුවට උඩින් යවන්න පුලුවන් වුණා. එදා ග්‍රිල්ක්‍රිස්ට් ග්ලවුස් පොළවේ ගහලා මටත් බැනලා ආයෙමත් කඩුල්ලෙන් ඈතට ගියා. ඊට පස්සේ මට හිතුනා මේ පහර ටිකක් පුරුදු වෙන්න ඕනේ කියලා ලංකාවට ඇවිත් මාස 3ක් ටෙනිස් බෝලෙන් ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ බෝලින් මැශින් එකේන් ඒ පහර පුරුදු වෙලා ලෝක කුසලානෙට යන්න කලින් සම්පූර්ණ සූදානමකින් තමයි ලෝක කුසලානයට ගියේ. ඊට පස්සේ මම හිතපු විදියටම ලෝක කුසලානයේදී සාර්ථක එම පහර ගැසීමට මට පුලුවන් වුණා.”

පසුව ප්‍රේක්ෂකයෙක් විසින් තිලකරත්න ඩිල්ශාන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට හේතුව කුමක්ද යැයි ඇසූ විට ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියේ ඔහු 2020 දී සමුගැනීමට සිතාගෙන සිටි බවත් පසුව තමන්ට සිදු වූ යම් යම් සිද්දීන් නිසා ජාත්‍යන්තර පිටියට සමුදිමට තීරණය කළ බවයි. අනතුරුව ඔහු සඳහන් කර සිටියේ එලෙස ගත් තීරණය සම්බන්ධයෙන් තමන් පසුතැවිල්ලි වන බවයි.
“මම 2019 ලෝක කුසලානයයි 2020 ලෝක කුසලානයයි සෙල්ලම් කරලා 2020 දී තමයි ජාතික කණ්ඩායමෙන් සමුගන්න හිතාගෙන හිටියේ. නමුත් 2015න් පස්සේ මට බලපෑමක් ආවා. 2016 දී මම සමුගන්න කොට අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා සහ ජාත්‍යන්තර එක්දින පිටියේ 4 වන ස්ථානයට හොඳම පිතිකරුවා විදියට හිටියා. නමුත් එංගලන්ත සංචාරයට මාව අරගෙන ගියේ නැහැ. ඊට පස්සේ සිම්බාබ්වේ සංචාරයේදී මට විවේකයක් දෙනවා කියලා ඒ සංචාරයටත් අරගෙන ගියේ නැහැ. එතකොට මම එක්දින හා විස්සයි විස්ස විතරයි ගැහුවේ. මම ඒගොල්ලොන්ට කිව්වා එක සංචාරයක් ගැහුවේ නෑ කියන්නේ මට මාස 2,3ක කාලයක් ක්‍රිකට් නොගහ ඉන්න වෙනවා. මම ලෝක කුසලානයට යනවනම් මගේ වයසත් එක්ක එක දිගට සෙල්ලම් කරන්න ඕනේ කියලා.”
“නමුත් මට තේරුණා එතකොට මගේ සේවය තව දුරටත් ඒගොල්ලන්ට අවශ්‍ය නෑ කියලා. ඉතින් 2016 දී මම තීරණය කළා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න. ඊට පස්සේ මම සැහැල්ලුවෙන් හිටියත් පස්සේ මට තේරුනා මම ගත්‍ත තීරණය වැරදි තීරණයක් කියලා. මම ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන කොටත් ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න වලටත් මම හොඳින් මුහුණ දීලා ජයග්‍රහණය කළා වගේ ඒ වෙලාවෙත් ඉවසගෙන කණ්ඩායමත් එක්ක රැඳී සිටියනම් මම හිතනවා අද ලංකාව වැටිලා තියන තැනට පත් වෙන්නැති වෙන්න තිබුණා කියලා.”