මහේල ජයවර්ධන දිගටම අපිත් එක්ක ඉන්නවනම් හොඳයි – මහීශ් තීක්ශණ තරඟයෙන් අනතුරුව කිව්ව කතාව.
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වුණ දෙවන තරඟයෙන් අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් වූ අතර තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී සුපර් 12 වටයට තේරීපත් වීමට ද ශ්‍රී ලංකාව සමත් විය.
මීට පෙර තරඟයේදී මෙන්ම මෙම තරඟයේදීත් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගැනීමට මහීශ් තීක්ශණ සමත් වූ අතර ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිඹඳව ඔහු තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.
මේ තරඟාවලිය ආරම්භ වෙද්දී අපිට ලොකු පීඩනයක් තිබුණා. මොකද, අපිට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කරන්න තිබුණ නිසා. අපේ ක්‍රීඩකයින් ගොඩක්ම තමන්ම විශ්වාස කරලා හොඳින්ම ක්‍රීඩා කළා. ඔයාලම දකින්නැති අපේ මුල් විකට් 3 අඩු ලකුණු වලට දැවී ගිය වෙලාවේ වනිඳු ඇවිල්ලා ගහපු ඒ ඉනිමෙන් මැච් එක ගොඩක් වෙනස් වුණා. ලොකු සතුටක් තියනව තරඟය දිනන්න පුලුවන් වුණ එක ගැන. දැන් අපේ පීඩනය ගොඩක් දුරට අඩු වෙලා තියනවා. ඊලඟ තරඟයත් මේ විදියටම දිනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මහීශ් තීක්ශන ගිය වසරේ අබුඩාබි T10 ලීග් තරඟාවලිය ක්‍රීඩා කළ අතර, මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ ද එම ක්‍රීඩාංගන වල හේතුවෙන්, මෙලෙස හොඳින් පන්දු යවා කඩුලු ලබාගැනීමට T10 ලීගය ක්‍රීඩා කීරීම උදව්වක් වුණා ද? යන්න මාධ්‍යවේදියෙක් විසින් ඇසූ ප්‍රශ්නයකට මහීශ් දුන් පිළිතුර,
“T10 league එකේදී තරඟයක අපිට ඕවර් 2යි දාන්න වෙන්නේ. ඒ නිසා ඒකයි T20 යි සමාන කරන්න බැහැ. නමුත් මේ ග්‍රවුන්ඩ් එකට ආවාම මට ලොකු විශ්වාසයක් තිබුණා. මම හිතන්නේ අපිට මේ තරඟ දෙකේදීම ගේම් ප්ලෑන් එකේ විදිහටම කරන්න පුලුවන් වුණා. ඒ නිසා තමයි අපිට මේ විදියට සාර්ථකව තරඟ ජයග්‍රහණය කිරීමට හැකි වුණේ.”
අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ වනිඳු හසරංග මෙම තරඟයේදී අංක 5 ක්‍රීඩා කරමින් විශිෂ්ට ඉනිමක් වාර්ථා කර අතර මහීශ් තීක්ශණ පවසා සිටියේ වනිඳු හසරංග අංක 5 ක්‍රීඩා කරවීමට කණ්ඩායමේ ප්ලෑන් එකක් තිබුණ බවයි.
“වනිදු හසරංගට ඕනම වෙලාවට පන්දුවට පහර දෙන්න පුලුවන්. ඒ නිසා ඔහුව මේ වගේ අවස්ථාවලදී යොදා ගන්න ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් ඒ ප්ලෑන් එකේ විදියට වනිදුව අද අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරවලා බැලුවා. වනිදු ඔහුගේ කාර්යය හරියටම කරලා දුන්නා.”
මේ වන ටිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්ව සිටින මහේල ජයවර්ධන සම්බන්ධයෙන් මහීශ් තීක්ශණ ප්‍රකාශ කර සිටියේ ඔහු ක්‍රීඩකයින්ගේ මයින්ඩ් එක හොඳින් හදන බවත්, දිගටම ඔහු කණ්ඩායම සමඟින් සිටිනවට තමන් කැමති බවයි.
“මම කැමතියි මහේල ජයවර්ධන දිගටම කණ්ඩායම එක්ක ඉන්නවට. නමුත් මම හිතන්නෑ ඔහු දිගටම කණ්ඩායම එක්ක ඉදීවි කියලා. මහේල ජයවර්ධන ආවට පස්සේ කණ්ඩායමට ලොකු පොසිටිව් ගතියක් තියනවා. එයා ටෙක්නික් වලටත් වඩා ක්‍රීඩකයින්ගේ මයින්ඩ් එක හඳනවා. මම වුනත් වනිඳු වුනත් හැමෝටම එයා අපිත් එක්ක කතා කරලා තරඟයේදී අපෙන් මොකක්ද වෙන්න අවශ්‍ය මොනවද කියලා අපිට ප්ලෑන් එකක් දෙනවා. ඒක නිසා තමයි අපේ පන්දු යවන්නන් හා පිතිකරුවන් හොඳින් පර්ෆෝම් කරන්නේ.”
මීට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස් පන්දු යවන ආකාරයටම පන්දු යවන මහීශ් තීක්ශන, ඔහුට අජන්ත මෙන්ඩිස් විසින් ඕනෑම මොහොතක කතා කර තමන් අතින් වැරැද්දක් සිදුවුවහොත් එය නිවැරැදි කර ගැනීමට උදව් වන බව පවසා සිටියා.
“මම යුධ හමුදා කණ්ඩායමට ගියාට පස්සේ මගේ ප්‍රධාන පුහුණුකරු වුණේ අජන්ත මෙන්ඩිස් අයියා. එයා හැමවෙලාවෙම එයාට වුණ දේවල්, එයා කරපු දේවල්, එයාට කරගන්න බැරි වුණ දේවල් හැමදේම මාත් එක්ක කතා කරනවා. මම ඕනම වෙලාවක කෝල් කරොත් එයා කතා කරනවා. මගේ අතින් වැරැද්දක් වුනොත් හැමවෙලාවෙම මට මැසේජ් එකක් දානවා. කවුරුත් දන්නැති වුනාට හැම මැච් එකක් ඉවර වුණාම අජන්ත මෙන්ඩිස් අයියා එක්ක කතා කරලා මගෙන් සිදුවුන වැරදි ගැන කතා කරලා ඒක හදාගන්න ලොකු සපෝර්ට් එකක් දෙනවා.”