මැදපෙල අසාර්ථක වීම හේතුවෙන් තරඟය පරාජයට පත්වීමට සිදුවුණා – දසුන් ශානක
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවන තරඟයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, Group A කාණ්ඩයේ අංක දෙක ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට අංක 4 දක්වා පහළ බැසීමට සිදු වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 25කදී ලකුණු 35ක් ද, චරිත් අසලංක පන්දු 27කදී ලකුණු 35ක් ද, භානුක රාජපක්ෂ පන්දු 26කදී නොදැවී ලකුණු 33ක් ද රැස් කිරීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 17ක් නිමාවන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 155ක් ලබාගෙන තරඟය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 65ක් රැස්කළ අතර, Aaron Finch ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 4 තුළ ලකුණු 22කට කඩුලු 2ක් ලබාගැනීමට සමත් වූ අතර දසුන් ශානක එක් පන්දුවාරයක් තුල ලකුණු 6කට එක් කඩුල්ලක් ලබාගැනීමට සමත් වුණා. චාමික කරුණාරත්න පන්දුවාර 2ක් යවා ලකුණු 19කට කඩුලු ලබාගැනීමට නොහැකි වූ අතර මහීශ් තීක්ශණ ද පන්දුවාර 4 තුළ ලකුණු 27 ලබාදී නමුත් කඩුලු ලබාගැනීමට හැකි වුණේ නැහැ.
ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් හොඳින් ලකුණු රැස් කළ අතර, මැදපෙළ අසාර්ථක වීම නිසා තරඟය පරාජය වීමට සිදු වූ බව තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළ සිටියා.
“අපි පිතිකරණයේදී හොඳ ආරම්භයක් ලබා ගත්තා. මැද හරියෙදි අසාර්ථක වීම අපිට ගොඩක් ලොලු පාඩුවක් වුණා. පසුගිය තරඟයේදී මෙන්න අදත් චරිත් අසලංක හොඳින්ම ක්‍රීඩා කළා. මේ කඩුල්ලේ අපි ලකුණු 25ක් 30ක් පමණ අඩුවෙන් තමයි ලබාගත්තේ. වෝනර් හා ෆින්ච් පිතිකරුවන් දෙදෙනා ලෝක මට්ටමේ දක්ෂ පිතිකරුවන්. පවර්ප්ලේ එක තුළ අපිට හරියාකාරව හොඳින් පන්දු යවන්න බැරි වුණා. ඉදිරි තරඟවලදී අපි පවර්ප්ලේ එක තුළ හොඳින් පන්දු යවන්න ඕනේ. සාජා ග්‍රවුන්ඩ් එකේ අපි තරඟ දෙකක් ක්‍රීඩා කරලා තියන නිසා අපිට හොඳ සැලසුම් කිහිපයක් තියනවා. ඊලඟ තරඟයේදී අපි හොඳින් තරඟාවලියට අවතීර්ණ වෙනවා. – දසුන් ශානක.
මේ අතර තරඟය පරාජයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී මහීශ් තීක්ශණ කළ ප්‍රකාශය,
“අපි හොඳ ආරම්භයක් ලබාගත්තත් මැදදී විකට් ගිය නිසා අපිට ලකුණු 20ක් විතර මදි වුණා. විකට් එක පිතිකරුවන්ට යෝග්‍ය එකක් කියලා අපි පන්දුවට පහර දෙන කොටම තේරුම් ගියා. අපිට ලකුණු 170ක් විතර ලකුණු ගහන්න තිබුණා. මම හිතන්නෙ ඒ නිසා තමයි අපිට තරඟය පරාජය වීමට සිදුවුණේ.”
“මගේ පන්දු යැවීමේදී මම බේසික් වලින් එළියට ගියා කියලා හිතනවා. මට හිතෙන්නේ මම ටිකක් වැඩිපුර විකට් ගන්න ට්‍රයි කරා කියලා. ඊලඟ තරඟ වලදී ඒක හදාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” – මහීශ් තීක්ශණ
බානුක රාජපක්ෂ එල්ල කළ හතරේ පහර (වීඩියෝ)