මීලඟ තරඟයේදී අපි තවත් පිතිකරුවෙක් සමඟින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – දිමුත් කරුණාරත්න
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර, පලමු ඉනිමේදී ලකුණු 146ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 83ක් ලබාගැනීමට සමත් වූ නායක දිමුත් කරුණාරත්න තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වුණා.
මෙම තරඟයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවකට සහභාගි වුණ අතර, එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු කිහිපය ලබාගැනීමට ප්‍රමාදවීම ගැන අදහස් ප්‍රකාශ කර සිටියා.
“මේ විකට් එකේ හතරවෙනි ඉනිමේ පිතිකරණයේ යෙදෙන්න ගොඩාක් අමාරුයි කියලා අපි දන්නවා. අලුත් බෝලෙන් විකට් ගන්න ගොඩක් ලේසි වුණා. ඊයේ රමේශ් මෙන්ඩිස් , ඇඹුල්දෙණිය වගේම ප්‍රවීන් ජයවික්‍රමත් ගොඩාක් හොඳින් පන්දු යැව්වා. ඒ නිසා ඊයේ අපිට කඩුලු 6ක් ලබාගන්න පුලුවන් වුණා. නමුත් අද උදේ වෙන කොට ඊයේ වැස්ස නිසා බෝලෙත් තෙත් වෙන නිසා දඟකැවෙන්නෙ නැති වුණා. ඒකත් එක්ක නිසා තමයි අද විකට් ගන්න පොඩ්ඩක් වෙලා ගියේ.”
නායක දිමුත් කරුණාරත්න මෙම වසරේ ලෝකයෙන්ම තින්වෙනියට වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන සිටින පිතිකරුවා වන අතර, ඔහුගේ මෙම සාර්ථකත්වයට හේතු ලෙස ප්‍රකාශ කලේ මෙවන් අදහසක්,
“ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තිබුණ දකුණු අප්‍රිකාව එක්ක තිබුණ තරඟාවලියේදී මම ලබාගත්ත ශතකයෙන් පස්සේ තමයි මට ගොඩාක් විශ්වාසයක් ආවේ. ඒකෙන් මට ගොඩාක් දේවල් ඉගෙනගත්තා. මම දන්න විදිහට ශ්‍රී ලංකා ක්‍රිකටර් කෙනෙක් එහෙ ශතකයක් ගහලා තිබුණේ නැහැ. ඒ ෆෝම් එකෙන්ම අපි බටහිර ඉන්දීය කොදෙව් වලට ගියා, නමුත් පලවෙනි මැච් එකේ මට හොඳින් ලකුණු ලබාගන්න හැකිවුණේ නැහැ. දෙවෙනි මැච් එකේ ඉදන් මම හොඳින් ලකුණු ගහන්න පටන් ගත්තා.”
“මම දකුණු අප්‍රිකාවේදී ෆේල් වුණාට පස්සේ අපේ පුහුණුකරු මිකී ආතර් එක්ක මම කතා කරා. ඔහු මට ගොඩක් දේවල් කියලා දුන්නා. මගේ ඉනිම ආරම්භ කරන්න ඕනේ කොහොමද, මොන වගේ බෝලර්ස්ලට ද මට ලකුණු ගහන්න පුලුවන්, ඒ වගේ ගොඩාක් දේවල් මාත් එක්ක කතා කරා. මම හිතන්නේ ඒකෙන් පස්සේ තමා මට ලකුණු ගහන්න ගොඩාක් ලේසි වුණේ. කෝච් කියපු දේවල් එක්ක මට දැන් ලකුණුත් තියන නිසා මට දැන් මැච් එකකට යන කොට ගොඩාක් විශ්වාසය තියනවා.”
පලමු තරඟයෙන් අනතුරුව දෙවන තරඟයේ කණ්ඩායමේ සැලැස්ම ඉදිරිපත් කරමින්, දිමුත් කරුණාරත්න පවසා සිටියේ කණ්ඩායමේ වෙනස්කමක් සිදුකර තවත් පිතිකරුවෙක් සමඟින් දෙවන තරඟය ක්‍රීඩා කරන බවයි.
“අපේ කණ්ඩායමේ දඟපන්දු යවන්නන් තුන්දෙනාම ඉතාමත් හොඳින් පන්දුයව්වා. ඒ නිසා ඒ තුන්දෙනා ක්‍රීඩා කරන කොට මටත් ලේසි වුණ. නමුත් අපේ පිතිකරණයේදි පොඩි ප්‍රශ්නයක් තියනවා, මොකද අපි ඊලඟ තරඟයේදී කාසියේ වාසිය පරාජය වුනොත් අපිට හතරවන ඉනිම ක්‍රීඩා කරන්න වෙනවා. ඒ නිසා පලවෙනි කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ගෙන් එක් වෙනස්කමක් සිදුකරන්න ඉඩ තියනවා. නමුත් තව පිතිකරුවෙක් කණ්ඩායමට ගන්න කොට හරියටම කියන්න බැහැ කණ්ඩායමෙන් ඉවත්කරන්නේ පිතිකරුවෙක් ද නැත්නන් වේගපන්දු යවන්නෙක් ද කියලා. ඊලඟ තරඟයේදි ඒ දෙකෙන් එකක් වෙන්න ඉඩ තියනවා.”
2021-22 ටෙස්ට් ශූරතාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, මෙම තරඟාවලියේ ඉදිරියට යාම සඳහා කණ්ඩායමේ සැලසුම ගැන දිමුත් ප්‍රකාශ කර සිටියෙ මෙවන් අදහසක්,
“අපි තරඟ ප්ලෑන් කරද්දී තරඟාවලියෙන් තරඟාවලියට තමයි ප්ලෑන් කරන්නේ. ආරම්භයේදීම තරඟ සියල්ලටම එකපාරටම ප්ලෑන් කරන්න ගියොත් අපිට කිසිදෙයක් සිදුකරගන්න බැරිවෙනවා. මුලින්ම කියන්න ඕනේ අපි ලංකාවේ තියන තරඟාවලි සියල්ල අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. ටෙස්ට් ශූරතාවයේ රැඳිලා ඉන්නනම් ඒක අත්‍යවශ්‍යම දෙයක්.
අනිත් එක ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ගත්තොත් එයාලා ගොඩාක් ටෙස්ට තරඟ ක්‍රීඩා කරනවා. නමුත් අපිට හරිම අඩුවෙන් තරඟ ලැබෙන්නේ. මම හිතන්නේ අපිටත් ගොඩාක් තරඟ ලැබෙනවානම් අපේ තරුණ ක්‍රීඩකයින්ට ගොඩාක් ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. එක්දින හා විස්සයි විස්ස වලට වඩා ටෙස්ට් ක්‍රිකට් වලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.”
මේ අතර ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න මේ වන විට ටෙස්ට් පිටියේ ලකුණු 5406ක් ලබාගෙන සිටින අතර, ඔහුගේ බලාපොරොත්තුව ටෙස්ට් ලකුණු 10,000 ක් ලබාගැනීමට බව ප්‍රකාශ කර සිටියා.
“මගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000ක් ලබාගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒක මට ලබාගන්න පුලුවන් වෙයිද නැද්ද කියලා මම් දන්නෙ නැහැ. ඒ වගේම ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියනවා. මම දැන් ඉන්න ෆෝම් එකෙන්ම ඉදිරියට යන්න පුලුවන් වුනොත් මම දන්නවා මට ලකුණු 10,000ක් ලබාගන්න පුලුවන් වෙයි කියලා.
ඇන්ජි කිව්වා වගේම මමත් කැමතියි පුලුවන් තරම් උඩට එන්න. මම ගොඩක් වෙලාවට තරඟයක් ඉවර වුණාම Stats බලනවා මම දැන් ඉන්නේ කොතනද කියලා. මට තව ලකුණු 100ක් 150ක් විතර ලබාගත්තාම තව තුන්හතර දෙනෙක්ව විතර පහුකරලා උඩට එන්න අවස්ථාව තියනවා. ඒ ඒ තැන් වලින් ටිකෙන් ටික උඩට යන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.”
දිමුත් කරුණාරත්න සමඟින් මෙම වසරේ හොඳින් ලකුණු ලබාගෙන සිටින ළහිරු තිරිමාන්න නැවත කණ්ඩායමට පැමිණී විට ඔහුට නැවතත් ආරම්භක පිතිකරු ස්ථානය ලබාගෙන බව නායක දිමුත් කරුණාරත්න පවසා සිටියා.
පැතුම් නිස්සංක කියන්නේ ඩොමෙස්ටික් තරඟවල එකේ ආරම්භක පිතිකරුවෙක්. ඔහුට මුලින්ම අවස්ථාවක් ලබාදෙන්න හදන කොට කණ්ඩායමේ ආරම්භක ස්ථානය ලබාදෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ළහිරු තිරිමාන්න මේ තරඟාවලිය ක්‍රීඩා නොකිරීමත් සමඟ පැතුම් නිස්සංකට මේ තරඟයේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩාකරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු ආරම්භක විදිහටත් සාර්ථක වුණා. නමුත් ඉදිරියේදී ළහිරු තිරිමාන්න නැවත ආවොත් ඔහුගේ තැන ඔහුට ලබාදෙන්න අපිට සිදුවෙනවා. එතකොට නැවතත් පැතුම් නිස්සංකට නොම්බර 6 ස්ථානයට යන්න වෙනවා.