මීලඟ තරඟයේදී අපි සීයට දෙසීයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදෙනවා. – භානුක රාජපක්ෂ

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ (1) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟයක් ලෙස පැවතී තරඟයෙන් කඩුලු 2ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් සුපිරි 4 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයෙන් අනතුරුව, ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර, එහිදී මෙම තරඟය හා තරඟාවලියේ ඉදිරි තරඟ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ බංග්ලාදේශය ලබාදුන් ලකුණු 184ක දැවැන්ත ඉලක්කය හඹායෑමට නොහැකියැයි කිසිවිටකත් නොසිතූ බවයි.

 

 

“අපි ඒගොල්ලෝ හිතුවට වඩා ඇටෑක් කරලා ලකුණු ලබාගත්තා. අපි හැමතිස්සෙම හිතුවේ මේ විකට් එක පිතිකරුවන්ට හොඳයි කියලා.. අන්තිම වෙද්දී පින්නත් ආපු නිසා අපිට තවත් වාසියක් වුණා. අපි ලකුණු 184 හඹාගෙන යන්න බෑ කියලා කිසිවිටකත් හිතුවේ නැහැ. අපි පොසිටිව් විදිහට හිතලා මැච් එක ගහපු නිසා තමයි අපිට දිනන්න පුලුවන් වුණේ.”

 

 

මෙම තරඟයේදී අවසානයේදී පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට පැමිණී අසිත ප්‍රනාන්දු පිත්තෙන් ලකුණු 10ක් ලබාගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබාදුන් අතර, පන්දු යවන්නෙක් මෙලෙසින් තරඟය ජයග්‍රහණය කර දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුගෙන් නැගුනු ප්‍රශ්නයකට භානුක රාජපක්ෂ අදහස් දැක්වූයේ මෙලෙසින්,

“මේ ජයග්‍රහණය අපි ටීම් එකක් විදිහට ලබාගත්‍ත ජයග්‍රහණයක්. කුසල් මෙන්ඩිස්ගේ , පැතුම් නිස්සංකගේ ඕපනින් පාර්ට්නර්ශිප් එකයි, ඉනිම මැදදී විකට් ගියත් අවශ්‍ය රන් රේට් එක තියාගෙන හිටියා.  අන්තිමට අසිත ප්‍රනාන්දු හිතපු නැති විදිහට තරඟය දිනවලා දුන්නා.”

 

 

“මේක ක්‍රීඩකයින් 11 දෙනෙක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක්. පන්දු යවන්නෙක්ට එදා දවසේ හොඳින් පන්දු යවන්න බැරි වුණා කියලා, ඔහුගේ බැටින් අමතක කරන්න බැහැ, ඒ වගේම පිතිකරුවෙක්ට ලකුණු ලබාගැනීමට නොහැකි වුවත්, පන්දු රැකීමේදී ඔහුට කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වයක් ලබාදෙන්න පුලුවන්..”

පලමු තරඟයේදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව, තරඟාවලියේ රැඳීසිටීම සඳහා දෙවෙනි තරඟය වූ බංග්ලාදේශයට එරෙහි තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය වූ බව භානුක ප්‍රකාශ කර සිටියා.

 

 

 

“අපි සැලසුම් කරන හැමදෙයක්ම ඒ විදිහට තරඟය ක්‍රීඩා කරද්දී වෙන්නේ නැහැ. නමුත් අපි හැමදෙයක්ම විශ්ලේෂණය කරලා තමයි තරඟයට පැමිණියේ. අපි දැනගෙන හිටියා මෙම තරඟය පරාජයට පත්වුවහොත් අපි තරඟාවලියෙන් ඉවත්වෙනවා කියලා. ඇෆ්ගනිස්තාන් තරඟය පරාජය වුණාට පස්සේ අපිට ලොකු මෝටිවේශන් එකක් ආවා, අපි බංගලාදේශයට එරෙහි තරඟය කොහොමහරි ජයග්‍රහණය කරන්න ඕනේ කියලා.”

 

 

මෙවර තරඟාවලිය UAE වලදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවට එහි පුහුණුවීම් කිරීමට ලැබුණේ දවස් දෙකක පමණ කාලයක් බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

“අපි UAE වල තරඟ සෙල්ලම් කරාට, හරියටම අවුරුද්දකට පස්සේ වගේ තමයි නැවතත් UAE වල ක්‍රීඩා කරන්නේ. අනෙක් ක්‍රීඩකයින් දවස් 7, 8කට විතර කලින් ඇවිත් ප්‍රැක්ට්‍රිස් කලත් අපිට තිබුණේ දවස් දෙකක පමණ කාලයක්. නමුත් අපි ඒ හැමදේම අමතක කරලා, මේ තරඟයේ ජයග්‍රහණය ගැන පමණක් හිතලා කටයුතු කළා. දැන් සම්පූර්ණ කණ්ඩායමම මේ ජයග්‍රහණයේ සතුට විඳිනවා.”

 

 

ශ්‍රී ලංකාව පහුගිය කාලයේදී විස්සයි විස්ස තරඟ වලදී ලකුණු 130ත් 140ත් අතර සංඛ්‍යාවන් ලබාගෙන තිබුණත්, මෙවර ලකුණු 184ක් හඹාගෙනගොස් ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර, එමඟින් ඉදිරි ලෝක කුසලානයට පෙර පිතිකරුවන්ට විශ්වාසයක් ඇතිවන බවද හානුක රාජපක්ෂ ප්‍රකාශ කළා.

“අපි ලංකාවෙන් පිට තියන තරඟ වලදී හැමවෙලාවෙම වගේ ලකුණු 170, 180 වගේ ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ හොඳ විකට් ලැබුණාම අපේ පිතිකරුවන් ලකුණු ලබාගෙන තිබෙනවා. දැන් ලෝක කුසලානයත් ලඟ එන නිසා මේ ජයග්‍රහණයෙන් පස්සෙත් පිතිකරුවන්ට ලොකු විශ්වාසයක් එනවා අපිට ලකුණු ලබාගන්න පුලුවන් කියලා..”

 

 

පලමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105කට සියලුම දෙනා දැවීගිය අතර, නැවතත් සුපිරි 4 දෙනාගේ වටයේදී පලමු තරඟය ලෙස ඇෆ්ගනිස්තාන මුණගැහෙන අතර, එහිදී සීයට දෙසීයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදී තරඟය ජයගැනීමට උත්සහා කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

“කලින් කිව්වා වගේ අපිට මෙහෙ ඇවිල්ලා ප්‍රැක්ට්‍රිස් වෙන්න තිබුණෙ දවස් දෙකයි, ඒ නිසා පලවෙනි දවසේ හරියට හැඩගැහෙන්න බැරි වුණා. නමුත් ඒක නිදහසට කාරණයක් නෙමේ, ඒත් අපි හැමෝම දන්නවා ලොකු තරඟාවලියකට යද්දී අපි හැමදාම හොඳ විදිහට තරඟාවලිය නිමාකරලා තියනවා. අපි මේ වෙන කොට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් ගැන අවබෝධයක් ලබාගෙන තිබෙනවා.

 

එක තරඟයක් ගහලා අපි ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අනෙක් තරඟයේදී අපි දැන් දන්නවා ඔවුන් සමඟ ක්‍රීඩා කරන්න ඕනේ කොහොමද කියලා. අපි මීට වඩා 100ට 200ක්ම ලබාදෙන්න තමයි හිතාගෙන ඉන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *